15th August 2022 18:30:47 Hours
නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ සිය පවුලේ සාමාජිකයන් සමගින් සඳුදා (15) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදාවේ වසර 33 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කළේය.
භඨකාර්ය සම්පාදන සාමාජිකයෙකු වශයෙන් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ අවසන් අදියරේ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ සේවය පිළිබඳ ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ “යුද්ධ හමුදාව වෙනුවෙන් ඔබ දැක්වූ පක්‍ෂපාතිත්වය මා බෙහෙවින් අගය කරන අතර එමෙන්ම, සතුරා සමඟ දරුණු සටන් පැවැති තීරණාත්මක මොහොතේ වූවද කිසිදු බාධාවකින් තොරව යුද බිමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමට අවශ්‍ය පියවර ගැනීමට ඔබ කටයුතු කළා” යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ ගේ පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් මානුෂීය මෙහෙයුමේදී සහ අනෙකුත් රාජකාරි අවස්ථාවන්හිදී සිය රාජකාරි කටයුතු නිසි අයුරින් ඉටුකිරීම සඳහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් වෙත ස්තූතිය පුදකරනු ලැබීය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මගපෙන්වීම, උපදෙස්, දිරිගැන්විම් සහ සුබපැතුම් වෙනුවෙන්ද සිය ස්තූතීය පුදකළේය. මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවෙන් බිහිවු මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර ලෙස රාජකාරි සිදුකිරීමට පෙර යුද්ධ හමුදාව තුළ මාණ්ඩලික පත්වීම් රාශියක් හොබවා ඇත.
වර්ෂ 1988 ඔක්තෝබර් මස 06 දින රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායට එක් වූ මේජර් ජෙනරල් දීපාල් හතුරුසිංහ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් සාර්ථකව පුහුණුව හැදැරීමෙන් පසු වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරීයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට අනියුක්ත කෙරිණි.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දශක තුනකට අධික සිය සේවා කාලය තුළ 1 වන බලඇණිය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මූලස්ථානයේ හයිටි බල ආරක්‍ෂණ ඒකකයේ භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරී, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලෙහි සේනාවිධායක, 24 වන සේනාංකයේ කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවා කාලය තුළ මව්බිම වෙනුවෙන් සිදුකරනු ලැබූ විශිෂ්ඨ සේවය ඇගයීමට ලක්කරමින් උත්තම සේවා පදක්කම, දේශපුත්‍ර පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් දින සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානි පදක්කම, සේවා පදක්කම සහ විදේශ සේවා පදක්කම ද එතුමන් වෙත හිමිගන්වා ඇත.