Header

Sri Lanka Army

Defender of the Nation

09th August 2022 20:48:09 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය ඉරිදා (7) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ පාලනය වන මුල්ලේරියාව, Sunflower Village හී සංචාරයක නිරත විය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකි ලියනගේ මැතිණිය සමග ප්‍රථමයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ පාලනය වන Sunflower Village වෙත ගොස් එහි ක්‍රියා පාටිපාටිය නිරීක්‍ෂණය කළේය.

නව සංකල්පයකට අනුව නිර්මාණය කරන ලද මෙම තිරසාර ප්‍රජා ගම්මානය තුළ, ‘යෝගට්’ නිෂ්පාදන ඒකකයක්, පැල තවාන් සහ බෝග වගාව ඇතුළු විවිධ සුභසාධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වේ. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ‘මී’ මැසි පාලන ව්‍යාපෘතියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සසංක පෙරේරා, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්වූහ.

මෙම සංචාරයේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් භටපිරිස් සඳහා ආහාර පිළියෙළ කිරීම සඳහා භාවිතා කරන උපකරණ නිරීක්‍ෂණය කළ අතර, ආහාරවල ප්‍රමිතිය සහ එම ආහාරවල අඩංගු කැලරි ප්‍රමාණය ආදිය සූපවේදීන් සහ සෙසුනිලයන් සමඟ අදහස් හුවමාරු කරනගන්නා ලදී. අනතුරුව, භෝජනාගාරයේ දිවා භෝජනය භුක්ති විඳිමින් සිටි කාන්තා සෙබළියන් හමුවූ යුද්ධ හමුදාධිපතිතුමන් ආහාරවල ගුණාත්මකභාවය සහ ආහාර ගැනීමේදි මතුවන ගැටලු පිළිබඳ ඔවුන් සමඟින් කරුණු විමසන ලදී.

ඉන් අනතුරුව, සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් සෙසුනිලයන්ගේ භඨනිවාසවල පවතින පහසුකම් පිළිබඳව ද විමසා බැලුවේය.