Header

Sri Lanka Army

Defender of the Nation

06th July 2022 15:25:56 Hours

ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ කැපකිරීම් වෙනුවෙන් උපහාර පිරිනැමේ

ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දශක තුනකට අධික කාලයක් සිය හමුදා දිවිය පුරාවටම මාතෘභූමිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සිදුකළ අප්‍රමාණ කැපකිරීම වෙනුවෙන් උපහාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (01) දින පැවැත්විණි. මෙම උත්සවය ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය, එම විද්‍යාලයේ කොළඹ ආදිශිෂ්‍ය සංගමයේ ශාඛාව, විදුහල්පතිතුමන්, හිටපු විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් විසින් සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ මෙම උත්සවයේ සම්භාවනීය අමුත්තන් ලෙස සහභාගී වූ ත්‍රිවිධ හමුදාවේ හා පාසලේ සමකාලීනයන්ගේ පැමිණීමත් සමඟ උත්සවයේ ආරම්භය සනිටුහන් විය. විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් එම විද්‍යාලයේ විදුහල්පති අරුණ ගමගේ මහතා විසින් පිළිගැනීමෙන් අනතුරුව විද්‍යාලීය ශිෂ්‍යභට තූර්යවාදක කණ්ඩායම විසින් පාසල් පරිශ්‍රය වෙත කැඳවාගෙන යනු ලැබීය. ඉන් අනතුරුව, සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා, ආගමික වතාවත්හී නිරත වීමෙන් අනතුරුව මෙම උත්සවය ආරම්භ කරනු ලැබීය.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ එම විද්‍යාලයේ කීර්තිමත් රණවිරුවන් අනුස්මරණය කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත රණවිරු ස්මාරකය වෙත මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් මුල්ගල් තැබුවේය. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව දශක තුනක කාලයක් පැවති මානුෂීය මෙහෙයුමේදී මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් මෙම විද්‍යාලයෙන් බිහි වූ යුද්ධ හමුදා නිලධාරීන් 9 දෙනෙක්, යුද්ධ හමුදා සහ නාවික හමුදා සෙසුනිලයන් 7 දෙනෙක් ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 16 දෙනෙක් සිය ජීවිත පූජා කරන ලදී.

ඉන් අනතුරුව, විද්‍යාලයීය තූර්යවාදක කණ්ඩායම විසින් සියලුම සම්භාවනීය අමුත්තන් උපහාර උත්සවය සඳහා කැටුව යන ලදී. පසුව, ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, විදුහල්පතිතුමන් සහ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිතුමන් එක්ව ධජ එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනා කරනු ලැබීය.

විදුහල්පතිතුමන් විසින් පිළිගැනීමේ කථාව පැවැත්වීමෙන් අනතුරුව, ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන වෛද්‍ය කෝලිත ලෙල්වල මහතා විසින් සිය අදහස් දක්වමින් මෙම දැවැන්ත උපහාර උත්සවය සංවිධානය කිරීමට හේතු වූ කරුණු සහ සියලුදෙනාගේ සහයෝගය ඇතිව එය සාක්‍ෂාත් කරගත් ආකාරය පිළිබඳ රැස්ව සිටි පිරිස දැනුවත් කළේය. මෙම උපහාර උත්සවයේදී ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වන සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 7 දෙනෙකුගේ සහ විශ්‍රාමික සාමාජිකයින් 3 දෙනෙකුගේ අමිල සේවය ද ඇගයීමට ලක් කරන ලදී.

මෙම උපහාර උත්සවය ආරම්භයේදී මේජර් ජෙනරල් සේනක වික්‍රමරත්න (විශ්‍රාමික), මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු (විශ්‍රාමික), මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩ (විශ්‍රාමික) සහ මේ වනවිට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය හොබවන මේජර් ජෙනරල් නෙවිල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සම්මාන ප්‍රදානය කරමින් ඔවුන් වෙත උපහාර පුදකරනු ලැබීය.

උත්සවයේ දෙවන අදියරේදී, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වන එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර, රියර් අද්මිරාල් නෙවිල් උබේසිරි, මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, මේජර් ජෙනරල් චමින්ද ළමාහේවා සහ මේජර් ජෙනරල් ධම්මි හේවගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා ද උපහාර පිරිනැමිණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු වෙත උපහාර පුදකර සම්මාන පිරිනැමීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් විය. එතුමන් වෙත සම්මාන ප්‍රදානය කිරීම සඳහා ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිතුමන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ද එක්වූහ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් දේශනයක් සිදුකරමින් උත්සවයේ සංවිධායක මණ්ඩලයට සහ එහි පැමිණ සිටි තම සමකාලීන ආදි ශිෂ්‍ය මිතුරන් වෙත සිය කෘතඥතාව පුදකිරීමෙන් අනතුරුව එතුමන්ගේ පාසල් අවධියේ මතකයන් යලි ආවර්ජනය කරනු ලැබීය. ඉන් අනතුරුව, සිය උපදේශකයින් සහ ගුරු භවතුන් පිළිබඳ ආවර්ජනය කරමින් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සිය පාසල් දිවියේ කැපී පෙනෙන අවස්ථාවන් කිහිපයක් පිළිබඳ සිහිපත් කරන ලදී.

අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරල් ධම්මි හේවගේ විසින් සිය දේශනය සිදුකරමින් පාසල් අධ්‍යාපනයෙන් පසු නිලධාරීන් ලෙස ත්‍රිවිධ හමුදාවට බැඳුණු සිය පාසල් මිතුරන් 20 දෙනෙකුගේ නිර්භීතකම ඇගයීමට ලක්කරන ලදි. එමෙන්ම, රටේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා උත්තරීතර පරිත්‍යාග සිදුකළ ඔහුගේ අතීත මිතුරන් තිදෙනෙකු වන 83/86 කණ්ඩායම්හී දිවංගත කර්නල් රිස්ලි මීඩින්, ලුතිනන් කර්නල් ප්‍රියන්ත ද සිල්වා සහ කපිතන් නයනානන්ද හෙට්ටිආරච්චි යන නිලධාරින් පිළිබඳ මතකයන් ද යලි ආවර්ජනය කරනු ලැබීය.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාන් ජාගොඩ මහතා විසින් ස්තුති කථාව සිදුකරනු ලැබීය.