06th July 2022 17:14:01 Hours
යුද්ධ හමුදාවේ වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම ලබන 65 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරී බදාදා (06) දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් අනිල් සමරසිරී සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ඇගයීමට ලක්විය.
කමාන්ඩෝ රෙජිමේන්තුවෙන් බිහි වූ මෙම කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම තවත් ප්‍රධාන තනතුරු රැසක් හෙබවීය.
මෙහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත බලාපොරොත්තු පිළිබඳ විමසා බැලූ යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ මේජර් ජෙනරල් අනිල් සමරසිරී ගේ පවුලේ සාමාජිකයින් සමඟින් ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය. සිය සේවා කාලය තුළ කැපවීමෙන් රාජකාරි හෙබවූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් සිදුකළ කාර්යභාරය ද මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක් විය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් අනිල් සමරසිරී සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය. මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මේජර් ජෙනරල් අනිල් සමරසිරී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලදී.
මේජර් ජෙනරල් අනිල් සමරසිරී පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ;
ත්‍රස්තවාදයට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුම සඳහා සක්‍රීයව දායක වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් අනිල් සමරසිරි යුද්ධ හමුදාවේ කීර්ති නාමය වෙනුවෙන් තම රාජකාරි ඉටුකිරීමේදී අතිශය විශ්වාසවන්ත, පක්‍ෂපාතී සහ විනයගරුක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කරනු ලැබීය.
එතුමන්ගේ සේවා කාලය තුළ 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, කමාන්ඩෝ බලසේනාවේ බලසේනා මේජර්, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පැරෂුට් පුහුණු අංශයේ ප්‍රධාන උපදේශක, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, 5 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක, කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක, වර්ෂ 2009 දී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පුද්ගලික ආරක්‍ෂක නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, 512 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 233 වන පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.
මේජර් ජෙනරල් අනිල් සමරසිරි ගේ නිර්භීත සේවය වෙනුවෙන් එතුමන් වෙත රණ වික්‍රම පදක්කම දෙවතාවක්, රණ ශූර පදක්කම, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානි පදක්කම, සේවා පදක්කම සහ විදේශ සේවා පදක්කම වැනි පදක්කම් රැසක් ද පිරිනමා ඇත.
වර්ෂ 1988 ඔක්තෝම්බර් මස 06 දින රත්මලාන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨය වෙත කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුලත් වූ මේජර් ජෙනරල් අනිල් සමරසිරි ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත අනුයුක්ත කරන ලදී. දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ හමුදා පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතු දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත් වූ එතුමන් වර්ෂ 1990 ඔක්තෝබර් මස 05 දින කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදී. සිය කීර්තිමත් සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 අගෝස්තු මස 02 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
වර්ෂ 2012 සහ 2013 දී එතුමන් දැක්වූ ගුවන් සංග්‍රාමික දක්‍ෂතා වෙනුවෙන් එතුමන් වෙත කමාන්ඩෝ වර්ණ සහ යුද්ධ හමුදා වර්ණ පිරිනමා ඇත. ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පාබල බලඇණි අණදෙන නිලධාරියකු ලෙස යුද බිමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළේය. යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් එතුමන් 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධුරයට පත්කළ අතර එය මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට හිමිවිය හැකි ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් පත්වීම්වලින් එකකි. එතුමන් විදේශීය හා දේශීය අධ්‍යයන පාඨමාලා ගණනාවක් සාර්ථකව හදාරා ඇත.