Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2022 21:12:15 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් අමතයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පසුගිය සෙනසුරාදා (2) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි ස්ථාපිත ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර පළමු සංචාරය සිදුකළ අතර, එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සහ 61 වන සේනාංකයන්හි සහ අනෙකුත් යුද්ධ හමුදා අංශ ආයතනයන්හි රාජකාරියෙහි නියුතු දහසකට අධික යුද්ධ හමුදා සාමාජිකයින් අමතන ලදී.

මෙම දේශනයේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින්, යුද්ධ හමුදාවේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ගයන් සකස් කරමින් වර්ථමානයේ රටේ පවතින අර්බුධකාරී තත්ත්වයන් සහ නොසන්සුන්කාරී සමාජ වාතාවරනය පිළිබඳවත් කරුණු පැහැදිලි කරන ලදී. එහිදී, යුද්ධ හමුදාවේ කාර්යභාරය සහ කර්තව්‍යයන්, රටෙහි වත්මන් ආරක්‍ෂක කටයුතු, පොලිසිය සහ අනෙකුත් ආරක්‍ෂක අංශ සමඟ සබඳතා පවත්වා ගැනීම ආදී කාලීන වූ කරුණු පිළිබඳව පිලිබඳවත් සිවිල්-හමුදා සහයෝගීතාව, තීරණ ගැනීම, ප්‍රායෝගික ප්‍රවේශයන් සහ ඊට අදාළ විසඳුම් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කල අතර, මෙම දේශණයේදී රටෙහි පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ට සහය වීම, ඔවුන් සමඟ සුහඳව කටයුතු කරන ආකාරය, මහජනතාවගේ හැඟීම් පිළිබඳ අවබෝධාත්මකව කටයුතු කිරීම, යුද්ධ හමුදාවේ ගෞරවය සහ විනය පවත්වා ගැනීම මෙන්ම සෑම තරාතිරමකම රාජ්‍ය තාන්ත්‍රික සභඳතාවයන් සුහඳ ශීලී ලෙස පවත්වාගෙන යමින් ආරක්‍ෂාකර ගැනීම යනාදි කරුණු පිළිබදව යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

තවද, මෙම දේශණයේදී බස්නාහිර පළාතේ සැලකිය යුතු ජනගහණයක් පවතින කොළඹ ප්‍රදේශය තුල ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් විසින් සිදුකරනු ලබන කාර්යභාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

දේශනය අවසානයේදී ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත වික්‍රමසේන, 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සියලුම රෙජිමේන්තු මධ්‍යස්ථානයන් නියෝජනය කරමින් භටපිරිස් සහභාගී වූහ.