Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2022 21:09:02 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අතිරේක ප්‍රහාරක බලකායට අයත් 53 වන සහ 58 වන සේනාංකයන්හි භටපිරිස් අමතයි

1 වන බලකාය යටතේ ස්ථාපිත 53 වන සහ 58 වන සේනාංකයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් වෙත රටේ පවතින වත්මන් අර්බුදකාරි තත්ත්වය හමුවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාර්යය පිළිබඳව දැනුවත් කිරීමේ දේශණයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඉකුත් සෙනසුරාදා (2) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී සිදුකරන ලදී.

මෙම දේශණයේදී යුද්ධ හමුදාපතිතුමන් විසින් කරුණු පැහැදිලි කරමින් යුද්ධ හමුදාවේ කාර්ය භාරය සහ කර්තව්‍යයන්, රටෙහි වත්මන් ආරක්‍ෂක කටයුතු, පොලිසිය සහ අනෙකුත් ආරක්‍ෂක අංශ සමඟ සබඳතා පවත්වා ගැනීම, සිවිල්-හමුදා සහයෝගීතාව, තීරණ ගැනීම, ප්‍රායෝගික ප්‍රවේශයන් සහ ඊට අදාළ විසඳුම් ලබා ගැනීම පිළිබඳව අවධානය යොමු කල අතර, මෙම දේශණයේදී රටෙහි පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින සිවිල් වැසියන්ට සහය වීම, ඔවුන් සමඟ සුහඳව කටයුතු කරන ආකාරය, මහජනතාවගේ හැඟීම් පිළිබඳ අවබෝධාත්මකව කටයුතු කිරීම, යුද්ධ හමුදාවේ ගෞරවය සහ විනය පවත්වා ගැනීම මෙන්ම සෑම තරාතිරමකම රාජ්‍ය තාන්ත්‍රික සභඳතාවයන් සුහද ශීලී ලෙස පවත්වාගෙන යමින් ආරක්‍ෂාකර ගැනීම යනාදි කරුණු පිළිබදව යුද්ධ හමුදා සාමාජිකයන් දැනුවත් කරන ලදී.

රටේ ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වී එම අභියෝගයන්ට මුහුණ දිය හැකි කණ්ඩායමක් ලෙස ස්ථාපිතකර ඇති 1 වන බලකායේ භටපිරිස් සංවිධානය කිරීම, සූදානම් කිරීම, පුහුණු කිරීම සහ පවත්වාගෙන යාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’’ ට අනුව සිදුකරනු ලබයි.

මෙහිදී, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ රැස්ව සිටි භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ වෘත්තීය ප්‍රමිතීන් සහ එහි අභිමානය රැක ගැනීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් අතර, මහජනතාවගේ ආරක්‍ෂාව සහ ඔවුන්ගේ ජනජීවිතය සාමකාමී ලෙස පවත්වගෙන යාම සඳහා අප සැමවිටම මූලිකව ක්‍රියාකල යුතු බවත්, යුද්ධ හමුදාවේ කාර්ය භාර්ය තුල රට, රටේ ව්‍යවස්ථාව සහ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අප බැඳී සිටින බවත්, පීඩාවට පත්ව සිටින මහජනතාව, කලබලකාරී තත්ත්වයන් ඇති කරන පිරිස් සහ පැනනැගිය හැකි නොයෙක් ආකාරයේ අභියෝග මධ්‍යයේ වුවද සෑම සෙබලෙකුම ඉවසීමෙන්, ආචාරශීලීත්වයෙන්, සංයමයකින් සහ මනා විනයක් පවත්වාගෙන යමින් තම රාජකාරි වල නිරත වීමේ අවශ්‍යතාවයද වැඩි දුරටත් පෙන්වා දෙනු ලැබීය.

1 වන බලකායේ බලකාධිපතිතුමන් විසින් මෙම අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර, 1 වන බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න, 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත්, 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් විපුල ඉහළගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීපදෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.