Header

Sri Lanka Army

Defender of the Nation

01st July 2022 19:58:05 Hours

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රගතිය වෙනුවෙන් යුද්ධ හමුදාවේ සහය ඉදිරියටත්, යුද්ධ හමුදාධිපති පවසයි

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) සිකුරාදා (01) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් සති කීපයකට පෙර යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සුභපැතුම් එක්කරන ලදී.

ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ රාජ්‍ය සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපාය මාර්ගික චින්තනය ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛතම අරමුණින් යුතුව මෑතකදී මෙම ජාතික ආරක්‍ෂක විද්‍යාලය ස්ථාපිත කරන ලදී. මෙම සුහද හමුවේදී මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රගතිය සහ එමගින් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය නිලධාරීන්ට පරිපූර්ණ දැනුමක් ලබා දෙන ආකාරය පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව සහ ජාතික සංවර්ධනය ඇතිකිරීම සඳහා රටේ ජාතික ආරක්‍ෂාව, රාජ්‍ය උපාය මාර්ගික ක්‍රම, රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ රාජ්‍ය ප්‍රතිපත්ති යන ක්‍ෂේත්‍රවල ඉහළ සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වෘත්තීය උපාය මාර්ගික තීරණ ගැනීම සම්බන්ධයෙන් දැනුම හා හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම අධ්‍යාපන ආයතනය මගින් සිදුකරයි. මෙම සාකච්ඡාව අතරතුරදී ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් එම ආරක්‍ෂක විද්‍යාලයේ පරිපාලන කටයුතු පිළිබඳව කරුණු කිහිපයක් සම්බන්ධවත් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අවධානයට යොමු කරන ලදී.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දියුණුව වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබදෙන බවත්, අධ්‍යාපන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවත් සිය ප්‍රසංශාව පලකරමින් අනාගතයේ දී ලොව හොඳම ජාතික ආරක්‍ෂක විද්‍යාල අතරින් එකක් බවට පත්කරන්නට සුභපැතුම් එක් කළේය. මෙහිදී මේජර් ජෙනරල් අමල් කරුණාසේකර (විශ්‍රාමික) විසින් ජාතික ආරක්‍ෂක විද්‍යාලය ආරම්භ කල අවස්ථාවේ සිට යුද්ධ හමුදාව විසින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතවේදීත්වය යුද්ධ හමුදාධිපතිතුමන්ට පිරිනැමුණු අතර, එම සහයෝගය ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ඉල්ලා සිටියේය.

සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායකතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.