Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2022 23:14:01 Hours

‘Extra Mile – A Surgeon's Experiences’ කෘතියේ මංගල පිටපත යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වේ

ශල්‍ය වෛද්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසකින් පරිපූර්ණ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා විසින් රචනා කරනු ලැබූ ‘Extra Mile - A Surgeon's Experiences’ කෘතියේ මංගල පිටපත පසුගිය අඟහරුවාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගන්වනු ලැබීය. එම කෘතිය තුලින් වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතාගේ වසර 40 කට අධික වෘත්තීමය දිවියේ ලද අත්දැකීම් පිළිබඳ විස්තර කරනු ලබයි.

මෙම සුහද හමුවේදී, ශල්‍ය වෛදවරයෙකු සහ කතුවරයෙකු වන වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා සිය වෘත්තීය දිවියේ ලද අමතක නොවන මතකයන් ලේඛන කලාව තුලින් ඉස්මතු කර පෙන්වූ පසුබිම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ විස්තර කරනු ලැබීය. පොළොන්නරුව දිසා රෝහලෙන් ආරම්භ වූ සිය වෘත්තීය දිවිය තුළ වගකීම් ඉටුකිරීමේදී අවශ්‍ය පහසුකම් සහ වෛද්‍ය උපකරණ නොමැතිව විවිධ දුෂ්කරතා හමුවේ ශල්‍ය වෛද්‍ය කටයුතු සිදුකිරීමේදී ලද අත්දැකීම් එම ක්ෂේත්‍රයේ නවක වෛද්‍යවරුන් වෙත ලබාදීමේ අරමුණ පෙරදැරිව මෙම ග්‍රන්ථය රචනා කළ බව ද එතුමන් ප්‍රකාශ කරනු ලැබීය.

වෛද්‍ය ක්ෂේත්‍රය සහ මහජනතාව අතර කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් දශක ගණනාවක් පුරාවට රාජකාරි කටයුතු වෙනුවෙන් එතුමන් සිදුකළ කැපවීම මෙන්ම දිවයිනේ දුෂ්කර ප්‍රදේශ රැසක සේවය කරමින් අහිංසක රෝගීන් දහස් ගණනකගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් එතුමන් දැක්වූ දායකත්වය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා වෙත සිය ස්තූතිය පුදකරනු ලැබීය.

එක්සත් රාජධානියේ රාජකීය ශල්‍ය වෛද්‍ය විද්‍යාලයේ උපාධිදාරියෙකු වන එතුමන් එම විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද ලබා නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නේවාසික ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් කෙටි කාලසීමාවක් රාජකාරි කටයුතු සිදුකළ අතර එවකට එතුමන්ගේ වයස අවුරුදු 32 ක් විය. ඉන් අනතුරුව, එතුමන් පොළොන්නරුව මූලික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී. වර්ෂ 1973 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් MBBS (Ceylon) උපාධිය ලබාගත් වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා වර්ෂ 1978 දී ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් සුදුසුකම් සැපිරීම සඳහා එක්සත් රාජධානිය වෙත යනු ලැබීය.

සාමය සඳහා සිදුකළ මානුෂීය මෙහෙයුමේදී, නැගෙනහිර කලාපයේ යුදමය තත්ත්වය උපරිම අයුරින් පැවති මායිම් ගම්මානවල මිසයිල හා බෝම්බ පිපිරුම්වලින් තුවාල ලද සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් දහස් ගණනක් පොළොන්නරුව රෝහලට ගෙන එනු ලැබූ අතර ඔවුන්ගේ ශල්‍යකර්ම රැසකට වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා සිය දායකත්වය ලබාදුන්නේය. එම ශල්‍යකර්ම සිදුකිරීමේදී කැපවීමෙන් ක්‍රියාකළ එතුමන් පොළොන්නරුව රෝහලේ ශල්‍ය වෛද්‍ය සේවාවන් ශීඝ්‍රයෙන් වැඩිදියුණු කළ අතර තුවාල ලද හමුදා සාමාජිකයින් සඳහා විශේෂ වාට්ටුවක් සහ දැඩි සත්කාර ඒකකයක් ද ස්ථාපිත කිරීමට පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. අන් කිසිදු වෛද්‍යවරයෙකු යුද්ධයෙන් බලපෑම් ලද ප්‍රදේශවලට යාමට අකමැති වූ පසුබිමක එතුමන් නිර්භීතව ඉදිරිපත් වී නිතිපතා එම ප්‍රදේශ වෙත ගොස් එම ප්‍රදේශවල පැවති වෛද්‍ය අවශ්‍යතාවයන්ට සිය දායකත්වය ස්වෙච්ඡාවෙන්ම ලබාදුන්නේය. ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති යාපනය අර්ධද්වීපයට පවා යනු ලැබූ එතුමන් අවස්ථා ගණනාවකදී යාපනය, පලාලි මූලික රෝහලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ද සිය දායකත්වය ලබා දී ඇත.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට ද දස්කම් දැක්වූ අතර වෛද්‍ය ක්ෂේත්‍රය තුලින් රට වෙනුවෙන් සිදුකළ විශිෂ්ඨ සේවාවට එතුමන් ගෞරවනීය විශිෂ්ඨතා සම්මානයෙන්ද පිදුම් ලබා ඇත. හෙතෙම ශල්‍ය වෛද්‍යවරයකු පමණක් නොව, දක්‍ෂ ක්‍රීඩකයෙකු ද වේ.

මෙම සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.