Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2022 23:25:42 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැඳුරේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස බදාදා (01) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි ආරම්භ කළ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව ධූරයේ රාජකාරි කටයුතුවල ආරම්භය සනිටුහන් කරමින් මානුෂීය මෙහෙයුමේදී රණක්‍ෂිතයට පත් රණවිරුවන් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීම වෙනුවෙන් අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ සංචාරයක නිරත විය.

නව යුද්ධ හමුදාධිපතිතුමන් මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් අත් පා පූජා කළ අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලුවේය. මෙම සංචාරයේදී, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ එතුමන්ගේ භාර්යාව වන ජානකී ලියනගේ මහත්මිය විසින් රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව එම සුවතා නිකේතනයේ සේවයේ නියුතු අනෙකුත් රණවිරුවන් සමඟින් ද සුහඳව අදහස් හුවමාරු කරගත්තේය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සුවතා නිකේතනය විසින් කළමණාකරනය කරනු ලබන චිකිත්සක අංශ සහ ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳ සොයාබලන ලදී. ඉන් අනතුරුව, එම විරෝදාර රණවිරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කළ නව යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ ද සාකච්ඡාවක නිරත විය.

පසුව, එතුමන් සුවතා නිකේතනයේ බිම් මහලේ විවේක සුවයෙන් සිටි රෝද පුටු ආධාරයෙන් ගමන් කරන වීරෝදාර රණවිරුවන්ට ද යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරන ලදී. ඉන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැඳුර සේනාවිධායක කර්නල් ප්‍රියන්ත ලියනගේ සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගනිමින් මෙම සුවතා නිකේතනයේ කාර්යභාර්ය පිළිබද සාකච්ඡා කළේය.

ඉන් අනතුරුව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මිහිඳු සෙත් මැදුරේ නේවාසික රණවිරුවන් අමතමින් මානූෂීය මෙහෙයුමේදි මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් අභීතව සටන්වැද රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන් වෙනුවෙන් ලබාදිය හැකි සියලු අවශ්‍යතාවයන් ලබාදීමට කටයුතු කරන බවට ද සහතික විය. තවද, වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම පැවති මානුෂීය මෙහෙයුමේදී රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම සඳහා තම ජීවිතය ගැන පවා නොසිතා නිර්භීතව ක්‍රියා කළ ආකාරය පිළිබඳ සිහිපත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඔවුන් ඒ සිදුකළ පරිත්‍යාගය වෙනුවෙන් සිය කෘතඥතාවය ද පුදකළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් නව ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු සිය ප්‍රථම සංචාරය ලෙස මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනය වෙත පැමිණි බවත් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීමෙන් අප සාමයෙන් ජීවත්වන බවත් ප්‍රකාශ කරන ලදී. එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් රණවිරුවන් අමතමින් “මා මෙම ධූරයට පත්වූවත් නොවූවත් ඔබ කළ කැපකිරීම මා කිසිදා අමතක කරන්නේ නැහැ. ඔබට අවශ්‍ය උපරිම පහසුකම් ලබාදීමට මා හැකි සෑම අයුරින්ම කටයුතු කරනවා. ඔබේ අකැමැත්තෙන් අපි කිසිදිනක ඔබ ඔබේ නිවෙස් වෙත යවන්නේ නැත. වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශය සහ ඔබේ කැමැත්ත මත පමණක් එම කටයුතු සිදුකරනවා. ඔබ මානුෂීය මෙහෙයුමේදී විඳපු දුෂ්කරතා පිළිබඳ මා හොඳින් දන්නවා.” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

තවද, මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ අත්කම් නිර්මාණ කිහිපයක් නිරීක්‍ෂණය කළ නව යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා සහ හැකියාවන් ද පැසසුමට ලක්කරන ලදී. ඉන් අනතුරුව, අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ සේනාවිධායක ගේ ආරාධනාවකට අනුව ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. මෙම සංචාරය සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ මිහිඳු සෙත් මැඳුර සේනාවිධායකතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය, යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර, මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල්, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, සුබසාධක අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොහාන් රාජපක්‍ෂ, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, ‘මිහිඳු සෙත් මැදුර’ සේනාවිධායක කර්නල් ප්‍රියන්ත ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් ද එක්වූහ.