Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2022 17:05:21 Hours

නික්ම යන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමේ

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ අද (31) දින පැවති උත්සවයකදී ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකරනු ලැබූහ. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් ද එක්ව සිටියහ.

ධූරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් යතුරුපැදිකරුවන් සහ පරිවාර රථ පෙළපාලියකින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී යුද්ධ හමුදා මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා විසින් මෙම අවස්ථාවට සපැමිණි එතුමන් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

ඉන් අනතුරුව, නව යුද්ධ හමුදාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවට සපැමිණි එතුමන් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිළිගැනීමට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හට පිළිගැන්වීමට විශේෂ පීඨිකාව වෙත කැටුව යන ලදී. දේශාභිමානි ගීත ගුවනට එක්වෙද්දි යුද්ධ හමුදා භටපිරිස් විසින් පිරිනමනු ලබන සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා කපිතන් එස්. ආර්. වී. කේ. එස් බණ්ඩාර උත්සවයේ ප්‍රධාන අමුත්තා වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට ආරාධනා කරන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර පිහිටි නව යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ ප්‍රථම යුද්ධ හමුදාධිපතිවරයා වන ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් එක්ව සමූහ ඡායාරූපයක් ද ගනු ලැබීය.

වසර දෙකකුත් මාස නවයක කාලයක් යුද්ධ හමුදාධිපති ධූරය හෙබවූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් භටපිරිස් අමතමින් සිය ධූර කාලය තුළ එතුමන් සමඟ සහයෝගයෙන් රාජකාරි කටයුතු සිදුකළ සියලු නිලයන් වෙත සිය ස්තූතිය පුදකළ අතර ජාතියේ ආරක්‍ෂකයින් ලෙස යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා සිදුකරනු ලබන කැපකිරීම් ද ඇගයීමට ලක්කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් මාර්ගය දෙපස සිටිමින් නික්ම යන යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුදකළහ. එඩිතර රණවිරුවෙකු වශයෙන් යුද්ධ හමුදාව වෘත්තීමය ක්ෂේත්‍රයේ නව තලයකට ඔසවා තැබූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ සුභසාධනය, ජාත්‍යන්තර සබඳතා, පුහුණුව, යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩා, ප්‍රජා ව්‍යාපෘති, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමට, හරිත කෘෂිකර්මාන්තය, නවෝත්පාදන සහ වෛද්‍ය පහසුකම් ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරන ලදී.

මාර්ගය දෙපස සිට ගෞරවාචාර පුදකිරීමේ අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් විශාල පිරිසක් එක්ව සිටි අතර ඒ අයුරින් යුද්ධ හමුදා මූලස්ථානයේදී ගෞරවාචාරය පුදකළ ප්‍රථම අවස්ථාව මෙය වේ.