Header

Sri Lanka Army

Defender of the Nation

29th May 2022 18:02:11 Hours

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක ශ්‍රී ලාංකිකයන් ඇතුළු සාම සාධක දූත මණ්ඩලවල සේවය කර දිවිපිදු විරුවන්ට උපහාර දක්වයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා අනුස්මරණ ජාත්‍යන්තර දිනය අද (29) දිනට යෙදී ඇති අතර, මෙවර අනුස්මරණ උත්සවයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා දායකත්වය දැක්වූ යුද්ධ හමුදාවේ සහ සිවිල් වැසියන් ගේ අමිල සේවය මෙන්ම වර්ෂ 1948 සිට අවසන් වරට දිවිපිදු වීරෝදාර රණවිරුවන් 135 දෙනෙකු ඇතුළුව එක්සත් ජාතීන්ගේ ධජය යටතේ සේවයේ කර දිවි පිදූ සාම සාධක භටයින් 4200 ට අසන්න සංඛ්‍යාවක් අනුස්මරණය කරමින් මෙහිදී උපහාර දක්වන ලදී. මෙම වසරේ සැමරුම් උත්සවයේ ගෝලීය තේමාව වන්නේ ‘ජනතාව, සාමය, ප්‍රගතිය සහ හවුල්කාරීත්වයේ බලය’ ආරක්‍ෂා කිරීමයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් හැම්ඩි මහත්මිය (Ms Hanaa Singer-Hamdy) විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ සාමසාධක රාජකාරීන්හි නිරත වෙමින් සිටියදී දිවි පිදූ ශ්‍රී ලාංකික රණ විරුවන් 11 දෙනෙකු ඇතුළු වීරෝදාර රණ විරුවන් සහ වීරවරියන් 4,200 දෙනෙකු අනුස්මරණය කරමින් සිය උපහාරය පුද කරන ලදී.

ඇයගේ සම්පූර්ණ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

“ජාත්‍යන්තර සාම සාධක දිනයේදී අපි සාමය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු ඇතුළු විරුවන් සහ වීරවරියන් 4,200කට උපහාර පුද කරනවා. ගැටුම්වලින් මිදී වඩාත් සාමකාමී සහ සමෘද්ධිමත් අනාගතයක් කරා සමාජයට උපකාර කිරීමට සාම සාධක භටයින්ගේ කැපවීමට අපි ආචාර කරමු’’.

පසුගිය වසර කිහිපය තුළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරීන්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ඩබ්ලිව්.එච්.ඩී ජයවික්‍රම සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සැරයන් එස්.එස්. විජේකුමාර යන වීරෝදාර රණවිරුවන් දෙදෙනා සිය ජීවිත පූජා කළෝය.

ඊශ්‍රායලය සහ අරාබිය අතර ඇතිකරගත් සටන් විරාම ගිවිසුම නිරීක්‍ෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සටන් විරාම අධීක්‍ෂණ සංවිධානය (UNTSO) පිහිටුවීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදා නිරීක්‍ෂකයින් කණ්ඩායමක් මැදපෙරදිගට යෙදවීමට ආරක්‍ෂක මණ්ඩලය අවසර දුන් විට එහි පළමු එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම කණ්ඩායම 1948 මැයි 29 වන දින පිහිටුවන ලදී.