Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2022 22:59:15 Hours

ශ්‍රී ලංකා සංඥා බලකායට නව නිලධාරි නිවස්නයක්

පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ මහල් දෙකකින් සමන්විත ‘Cyllenes Cave’ නිලධාරි නිවස්නය අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරින්ගේ පරිහරනය සඳහා විවෘතකර භාරදෙනු ලැබීය. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

ශ්‍රී ලංකා සංඥා බලකා නිලධාරින්ගේ දිගු කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ඉදිකරනු ලැබූ මෙම නව නිලධාරි නිවස්නය රූපවාහිනී නැරඹූම් මැදිරියක්, අමුත්තන් පිළිගැනීමේ එ්කකයක්, බිලියඩ් ක්‍රීඩා කාමරයක් ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත වේ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන ‘යුද්ධ හමුදා ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020-2025’ ට සමගාමීව ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලකාධිපති සහ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් අශෝක පීරිස් ගේ උපදෙස් මත එම බලකායේ නිලධාරින් සහ සෙසුනිලයන් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.

මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත රෙජිමේන්තු ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලකාධිපති මේජර් ජෙනරල් අශෝක පීරිස්, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ලලිත් හේරත් ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව නව නිලධාරි නිවස්නය වෙත කැඳවාගෙන යනු ලැබීය.

එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව පීත්ත පටිය කපා සුබ මොහොතින් නව නිලධාරි නිවස්නය විවෘත කරන ලදී. පසුව, එතුමන් ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලකාධිපති සමඟ එක්ව නව නිලධාරි නිවස්නය නිරීක්‍ෂණය කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “මෙම ගෞරවනීය සංවිධානයේ නිලධාරින් හට සිය වෘත්තියේ ගෞරවය පවත්වාගැනීම සඳහා මෙවැනි පහසුකම් බෙහෙවින් අවශ්‍ය වේ. සංඥා ක්‍ෂේත්‍රයේ ඔබ ප්‍රවීනයකු වීමට ඇපකැප වී කටයුතු කලයුතු අතර, නව නිර්මාණයන් සඳහා නිරන්තරයෙන්ම යොමුවිය යුතුය. කළ නොහැක්කක් නොමැති බැවින් කිසිවිටෙකත් අත් නොහැරීමට ඔබේ කනිෂ්ඨයන්ද හොඳින් පුහුණු කළ යුතුයි. ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වන්න. මෙවැනි පහසුකම් ඔබටත් ඔබේ වෘත්තියටත් ගෞරවය ගෙනදෙයි. ඔබේ වෘත්තීය ජීවිතය තුළ යුද්ධ හමුදාවේ මනා විනයකින් යුතුව කටයුතු කර ඇති බවට ඔබ සහතික විය යුතු අතර, ඔබ සැමට මා සුබ පතමි” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්වීය. අනතුරුව, එම රෙජිමේන්තුවේ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තැබූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා බලකාධිපති විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් සුගත් රත්නායක, තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සජිත් ලියනගේ, සංඥා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉමාල් අස්සලආරච්චි, ශ්‍රී ලංකා සංඥා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අරමුදල් භාවිතා කරමින් මෙම නව ගොඩනැගිල්ල සඳහා ගෘහභාණ්ඩ සහ අනෙකුත් පහසුකම් සලසාගනු ලැබූ අතර නිලධාරි නිවස්නයේ ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබාදුන්හ.