20th May 2022 11:38:13 Hours
13 වන රණවිරු සැමරුමට සමගාමීව මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 08 දෙනා වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (19) දින මධ්‍යහනේ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මුලස්ථානයේදී නිල ලාංඡන පැළඳවීය.
ඒ අනුව, 55 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරල් සුගත් රත්නායක, 68 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම, 12 වන සේනාංකයේ සේනාංකාධිපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් ලංකා අමරපාල, 24 වන සේනාංකයේ සේනාංකාධිපති ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සාලිය අමුණුගම, පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් කණිෂ්ක හෙයියන්තුඩුව, 52 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් උදය හේරත් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ශේන් ගුණවර්ධන වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පැළඳවිය.
උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන් වෙත සිය සුබපැතුම් පිරිනමමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත නිල ලාංඡන පැළඳවූවේය. ඉන් අනතුරුව, නිලයත් සමඟින් පැවරෙන වගකීම පිළිබඳ සංකේතවත් කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සංකේතාත්මක අසිපතක් ද ප්‍රදානය කරන ලදී.
පසුව, උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන් රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් වගකීමෙන් සහ කැපවීමෙන් රටේ තිරසාර සංවර්ධන කාර්යභාරය වෙනුවෙන් දායක වන ලෙස උපදෙස් ලබාදුන්නේය.
මෙම අවස්ථාවේදි උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් අමතමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “ජ්‍යෙෂ්ඨත්වය මත පමණක් නොව 2009 වර්ෂයට පෙර පැවති මානුෂීය මෙහෙයුමේදී අණදෙන නිලධාරින්, උපදේශකවරුන්, අධ්‍යක්‍ෂවරුන් සහ මාණ්ඩලික රාජකාරීන්හිදී තමන් වෙත පැවරුනු වගකීම් නිසි ආකාරයෙන් ඉටුකිරීම වෙනුවෙන් මෙම උසස්වීම් ඔබ වෙත හිමිගන්වනු ලැබුවා. මෙම නිලයට ළඟාවිය හැක්කේ දක්‍ෂයින්ට පමණක් වන බැවින් තම වෘත්තීය දිවියේ ඉහළම පිළිගැනීමක් සහිත ‘මේජර් ජෙනරල්’ නිලයේ ගෞරවයට, පිළිගැනීමට සහ තම නිලයට උචිත අයුරින් කටයුතු කිරීමේ වගකීම ඔබ සතුවන බව” ප්‍රකාශ කරන ලදී.
ඉන් අනතුරුව, උසස්වීම් ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිය උසස්වීම් ලබාදීම සඳහා නිර්දේශ කිරීම සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ස්තූතිය පුදකරන ලදී.