Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2022 06:47:09 Hours

අතිගරු ජනාධිපතිතුමන් රණවිරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් දේශයේ රණවිරුවන් කිසිදිනක අමතක කළ නොහැකි බව පවසයි

මාතෘ භූමියේ නිදහසත්, භෞමික අඛණ්ඩතාවත් රැක දුන් වීරෝදාර රණවිරුවා කුමන තත්ත්වයක් අභිමුව වුවද අපට අමතක නොවේ. ඒ ඔවුන්ගේ කැපකිරීම්වල ජීව ගුණයට අප සදා ගරු කරන බැවිනි. එහෙයින් මෙවර ද ජාතික රණවිරු දිනය අප සමරන්නේ රණවිරුවා ජාතික අභිලාෂයන් වෙනුවෙන් කළ අපරිමිත පරිත්‍යාගයන් සිහිපත් කරමිනි.

වර්තමානයේ මුහුණ දී ඇති අර්බුදකාරී ස්වභාවය අප කිසිවෙක් අපේක්‍ෂා කළ තත්ත්වයක් නොවේ. ආර්ථික අර්බුදය දේශපාලන හා සාමාජයීය ව්‍යාකූලත්වයක් කරා විසිරී තිබේ. කුමන තත්ත්වයක් මත වුවද මේ රටේ ස්වෛරීභාවය සහ නිදහස වෙනුවෙන් වූ ප්‍රතිපත්තිය ලඝු කොට සැලකීමට අප කටයුතු නොකරනු ඇත. ඒ අන් සියල්ලට වඩා ඉහළින් මාතෘ භූමිය රැකගැනීමේ අභිලාෂය පවතින නිසාය.

අපේ වීරෝදාර රණවිරුවෝ යුද සාපය නිමා කොට රටට සාමය උදා කළේ මානුෂීය මෙහෙයුමෙනි. වෛරය, ක්‍රෝධය හා පළිගැනීම ඒ තුළ නොවීය. ඒ නිසාම සාමය උදා වූ මාතෘ භූමියේ ජාතිවාදයට හෝ වෙනයම් අන්තවාදයකට ඉඩක් නැත. අප එය සලකන්නේ ශ්‍රී ලාංකේය සමාජය තුළ වූ සුවිශේෂී අගනාකමක් ලෙසය.

ඉතිහාසයේ අප බොහෝ අභියෝගකාරී යුග සහ අවස්ථා පසුකර තිබේ. ඒ සෑමවිටම දේශමාමකයෝ පෙරමුණගත් බව අමතක නැත. රටේ සමස්ත රණවිරුවා නියෝජනය කරනුයේ මෙකී සමූහයය. එබැවින්, වර්තමානයේ පවතින අභියෝගය දෙස වඩා අවධානයෙන් හා විමසිල්ලෙන් බලා කටයුතු කිරීමේ වගකීම ඔබට ඉතිහාසය විසින් පවරා ඇති බව ද සිහිපත් කළ යුතුය.

ආර්ථික හා දේශපාලන අර්බුදය දඩමීමා කර ගනිමින් ජාතික ආරක්‍ෂාවට බලපෑම් කිරීමට විවිධ දෙස්, විදෙස් කණ්ඩායම් හා පුද්ගලයින් මාන බලන බවට සැක නැත. අප එය එක්ව පරාජය කළ යුතුමය. අභීත රණවිරුවා රට වෙනුවෙන් කළ කැපවීම් ආරක්‍ෂා වන්නේ එවිටය.

නිදහස් දේශයක් වෙනුවෙන් ආබාධිත වූ සහ ජීවිත කැප කළ අභීත රණවිරුවන්ට ජාතික රණවිරු දිනය වෙනුවෙන් මගේ ගෞරවයත්, උත්තමාචාරයත් පුද කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ

2022 මැයි මස 19 දින