Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2022 13:37:22 Hours

‘ආර්ථික අපහසුතා වලින් ජයගැනීමට මෙම පුණ්‍ය කටයුතුවල ආශිර්වාදය ලැබේවායි’ යුද්ධ හමුදාධිපතිතුමන් කූරගල විහාරස්ථානයේදී ප්‍රාර්ථනා එක් කරයි

සබරගමුව පළාතේ පිහිටා ඇති කූරගල රජමහා විහාරස්ථානය නමින් ප්‍රකට පුරාණ බෞද්ධ ආරාමය, ඓතිහාසික ලෙන් විහාරය වසර 2300 කට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියයි. පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන්ගේ අනුපමේය කැපවීමෙන් හ‍ා සැදැහැවත් බෞද්ධ බැතිමතුන්, යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රමුඛ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ ශ්‍රම දායකත්වය තුලින් මෙම බෞද්ධ විහාරස්ථානය වෙත වසරකට අඩු කාලයක් තුල නව පුනර්ජීවයක් ලැබීය.

පුරාවිද්‍යාත්මක වටිනාමකකින් යුත් ප්‍රාග් ඓතිහාසික විහාරස්ථානයක් වන කල්තොට, කූරගල ආරණ්‍ය සේනාසනයේදී ඉරිදා (15) දින ජාතික වෙසක් සැමරුම් උත්සවය - 2022 උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම පුණ්‍ය උත්සවය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, රාජ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සෙසුනිලයන්, පරිත්‍යාගශීලී දිස්නා වනිගසේකර මහත්මිය සහ චන්ද්‍රසේන වික්‍රමරත්න මහතා, මාධ්‍යවේදීන් සහ බෞද්ධ දානපතියන් ඇතුලු විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

මෙම පුණ්‍ය උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින්, උත්සවයේ පළමු අදියර ලෙස කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන්ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් සුදු පැහැති මල් වලින් සකසන ලද පීත්ත පටිය කපා විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි සිංහ ප්‍රතිමාව සහ සුගන්ධ කුටිය වෙත පිවිසෙන පියගැට පෙළ විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ප්‍රකාශය පහතින් දැක්වේ:

මෙම අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් “වසරක් වැනි කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම වෙනුවෙන් විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන නාහිමිපාණන් විසින් සිදුකළ නොපසුබස්නා කැපවීම සහ උන්වහන්සේගේ උත්සාහයට මාගේ ගෞරවපූර්වක ස්තූතිය පුදකරනවා. එම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබාදුන්නා. යුද්ධ හමුදා සහයෝගය ඉල්ලුම් කළ අවස්ථාවන්හිදී බෞද්ධ විහාරස්ථාන 200 කට අධික සංඛ්‍යාවක් සහ කතෝලික, හින්දු සහ ඉස්ලාම් ආගමික ස්ථානයන්හී සංවර්ධන කටයුතු සඳහා අපගේ සහයෝගය හැකි උපරිම අයුරින් ලබාදීමට කටයුතු කළා. මෙම පූණ්‍ය වැඩසටහන විශේෂ ව්‍යාපෘතියක් වන අතර ‘කළ නොහැක්කක් නොමැත’ සංකල්පයට අනුව අපගේ අධිෂ්ඨානශීලී භටපිරිස් සිය ශ්‍රම දායකත්වය, තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම ලබාදෙමින් සැලසුම් සහගතව ඉදිකිරීම් කටයුතු නිසි අයුරින් සිදුකරමින් මවුබිමේ ආරක්‍ෂකයින් ලෙස ඕනෑම කාර්යභාරයක් සිදුකිරීමට යුද්ධ හමුදාව සතු හැකියාව පසක් කළ බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදී.

“පසුගිය කාලවකවානුව තුල සිදු වූ අවාසනාවන්ත සිදුවීම් හමුවේ පැය 24 ක කාලයක් තුළ අපගේ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරින්ගේ සහයෝගය ඇතිව රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට හැකිවූවා සේම, මෙම පුණ්‍ය කටයුත්තේ ආශිර්වාදයෙන් සහ කුසලානුභාවයෙන්, රට තුළ පවතින ආර්ථික අර්බුදයන් සහ දුෂ්කරතායන් මඟහරවාගැනීමට හැකිවන බව මා විශ්වාස කරනවා. මේ සියලුම පුණ්‍ය කටයුතුවල ආශිර්වාදයෙන් ඉදිරි කාලය තුළ එකමුතු ජාතියක් ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ නැවත ශක්තිමත්ව නැඟී සිටීමටත්, රටට සාමය සහ සෞභාග්‍යය උදාකරදීමටත් අපට හැකිවන බව මා තරයේ විශ්වාස කරමි.” යනුවෙන් ද එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

මෙම පුණ්‍ය උත්සවයේ සමාරම්භක අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.