Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2022 12:02:39 Hours

මවුබිම වෙනුවෙන් අගනා සේවයක් කිරීමට වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේ ධර්මානුකූලව ජනතාව සහ රට වෙනුවෙන් සේවය කිරීමට අධිෂ්ඨානය හා ශක්තිය ලැබේවායි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රාර්ථනා කරයි.

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරනු ලබන පණිවුඩය:

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව අසිරිමත් බෝසත් උපත, ශ්‍රී සම්බුද්ධත්වය හා සම්බුද්ධ පරිනිර්වාණය යන උතුම් ත්‍රිවිධ මංගල්‍යයන් සිහිපත් කරමින් සමරන වටිනාම බෞද්ධාගමික පුණ්‍යෝත්සවය වන වෙසක් මංගල්‍යය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලෙස පණිවුඩයක් නිකුත් කරන්නේ බුද්ධාලම්භන ප්‍රීතියෙනි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසූ සම්බුද්ධ දේශණයට අනුව තම ජීවිත ගොඩනංවා ගනිමින් මෛත්‍රිය හා කරුණාව පෙරදැරිව වෙසක් සමයෙහි ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හී නිරතවීම බෞද්ධ ජනතාව අනාදිමත් කාලයක සිට පවත්වාගෙන එන බෞද්ධාගමික චාරිත්‍රයකි. පසුගිය වසර දෙකක කාලය තුළ කොවිඩ් වසංගතය හේතුවෙන් උත්සවාකාරයෙන් සැමරීමට නොහැකි වුණු වෙසක් මංගල්‍යය සංවිධානාත්මකව සැමරීමට මෙම වසරේදී අවස්ථාව උදාවී තිබීම, සුවහසක් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ ප්‍රීති ප්‍රමෝදයට හේතුවන බව මා විශ්වාස කරමි.

බුද්ධ දර්ශනය හා සැදැහැ සිතින් පිළිපදින බෞද්ධ පිළිවෙත් මගින් අන් අය කෙරෙහි මෛත්‍රිය හා කරුණාව ගොඩනැගෙන බව ද සිහිපත් කරමි. අන් කාලයන්ට වඩා වෙනස් අභියෝගකාරී පරිසරයක් තුළ රාජකාරී කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රණවිරුවන් වන ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුව අවිහිංසා පෙරදැරිව සියලු රටවැසියන්ගේ ජීවිතාරක්‍ෂාව තහවුරු කිරීම, යහපැවැත්ම හා සමාජ අභිවෘද්ධිය සැලසීම සඳහා සිහිනුවණින් ක්‍රියාකළ යුතු බවද අවධාරණය කරමි. බුදුදහම මඟින් සිදුවන ප්‍රඥා වර්ධනය, ඉන්ද්‍රීය හික්මීම, අධ්‍යාත්මික සන්සුන්භාවය හා පරාර්ථකාමීත්වය වැනි මානව හිතවාදී දැහැමි සිතුවිලි ඔබ සිදුකරන සමාජ ආරක්‍ෂක රාජකාරීන් සාර්ථක කරගැනීමට ප්‍රයෝජනවත් වනු ඇතැයි ද විශ්වාස කරමි.

බෞද්ධ ජීවන රටාව යනු මනුෂ්‍යත්වයට ගරු කරමින් යහපත් ජීවිතයක් ගතකිරීමයි. බුදුරජාණන් දෙසූ ධර්මය තුළින් මනසේ ගොඩනැංවෙන අයහපත් සිතුවිලි නුවණින් පාලනය කරගැනීම සඳහා මාර්ගය පෙන්නුම් කරන අතර, එය ජීවිතය යහපත් කරගැනීම සඳහා මාර්ගෝපදේශයක් කරගත යුතු බව මාගේ විශ්වාසයයි. ජාති, ආගම් හා කුල අනුව නොබෙදී සහජීවනයෙන් ජීවත්වීම සඳහා වෙසක් සමයේ සිදුකරන වෙසක් තොරණ, වෙසක් සැරසිලි, දන්සැල්, ආගමික උත්සව, පන්සල් යාම වැනි ආමිස පූජාවන් මෙන්ම වැඩි වශයෙන් ප්‍රතිපත්ති පූජාවන්හී නිරතවීම බොහෝ ඉවහල් වන බව ද සිහිපත් කරමි.

විවිධ බලපෑම් හේතුවෙන් බොහෝ කාලයක් අත්හැර දමා තිබූ යලි පිබිදෙන කූරගල පුදබිම 2022 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා තෝරාගෙන තිබෙන බෞද්ධ සිද්ධස්ථානයයි. විශාල ලෙස හානි වී වල් බිහිවී තිබුණ මෙම පුදබිම නැවත ගොඩනංවා සම්බුද්ධ ශාසනයට පූජාකිරීම සඳහා විශාල දායකත්වයක් දැක්වූ යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන්ට මෙම උතුම් වෙසක් මංගල්‍යයේදී පින් අනුමෝදන් කිරීමට මම මෙය අවස්ථාවක් කරගනිමි. එසේම, යුද්ධ හමුදා රණවිරුවන් වශයෙන් ශ්‍රී ලංකාව තුළ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්‍ෂා කිරීම සඳහා සෑම අවස්ථාවකදීම උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කළයුතු බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි.

බුද්ධ ධර්ශනයෙන් පෝෂණය වූ මෛත්‍රී සහගත සමාජයක් ගොඩනඟමින් අන්‍යයන්ගේ ජීවිත සුරක්‍ෂිත කිරීමටත් ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීමටත් අවශ්‍ය ශක්තිය, ධෛර්යය මෙන්ම අවබෝධය ඔබට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. අවසන් වශයෙන්, මෙම උතුම් වෙසක් සමය තුළ රට අභ්‍යන්තරයේ ගොඩනැඟි ඇති සියලු අපහසුතාවයක් දුරු වී සියලු ලක්වාසී ජනතාවට නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ජීවත්වීම සඳහා ත්‍රිවිධ රත්නයේ පිහිට, ආරක්‍ෂාව හා ආශිර්වාදය හිමිවේවායිද ප්‍රාර්ථනා කරමි.

ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!