04th May 2022 22:46:48 Hours
රත්නපුර, කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාලි රාජ්‍ය බලා පිටත්ව ගිය භටපිරිස්වල ආචාරය පිළිගැනීම සඳහා පැවති ප්‍රධාන උත්සවය සඳහා සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩාංගණය බදාදා (04) දින පැවති උත්සවයකදී සමරු ඵලකය නිරාවරණය කර විවෘත කරමින් ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ භටපිරිස් වෙත භාරදෙන ලදී.
නව ක්‍රිකට් ක්‍රීඩා පිටිය විවෘත කිරිමෙන් පසු තණතීරුවේ පළමු පන්දුවට එම අවස්ථාවට රැස්ව සිටි පිරිසගේ අත්පොලසන් නාද මධ්‍යයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පහරදුන්නේය. අනතුරුව ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපතිගේ ආරාධනයකට අනුව පුහුණුවීම් සඳහා භාවිතා කරනු ලබන පැති කඩුලු ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කරනු ලැබීය.
ඉන් අනතුරුව සිය තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින් ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ මෙම නව තණතීරුව සකස් කිරීම සඳහා දායකත්වය ලබාදුන් බොම්බඩියර් අජිත් කුමාර වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් විශේෂ සමරුතිළිණයක් පිරිනැමීය.
ගැමුණු හේවා බලකා රෙජිමේන්තු භටපිරිස් වසර ගණනාවක් පුරා යුද්ධ හමුදාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල නිරතව සිටින අතර ඒ තුළින් යුද්ධ හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මහගු දායකත්වයක් ලබා දී ඇත.
මෙම උත්සව අවස්ථාව සඳහා මාලි රාජ්‍ය බලා පිටත්ව ගිය භටපිරිස්වල ආචාරය පිළිගැනීම සඳහා පැවති ප්‍රධාන උත්සවයට සහභාගී වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.