Header

Sri Lanka Army

Defender of the Nation

04th May 2022 15:26:57 Hours

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත්වන 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි, යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ගෞරවය පිරිනමයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) අද (4) දින පෙරවරුවේ රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.

4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරන නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 223 දෙනෙකුගෙන් සමන්විත වේ. මේවනවිට මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරීවල නිරතව සිටින යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම නැවත දිවයිනට පැමිණීම ආරම්භ කිරීමෙන් පසුව මැයි මස තුන්වන සතියේදී නව සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ පළමු කණ්ඩායම බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යය වෙත පිටත්වීමට නියමිතව ඇත.

ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත බදාදා (4) දින සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජනක විමලරත්න විසින් පිළිගැනිමෙන් අනතුරුව කඳවුරු මුරයේ ගෞරවාචාරයද එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ලාල් චන්ද්‍රසිරි විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගැමුණූ හේවා බලකාය වෙත පිළිගැනීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එතුමන් සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය.

ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පෙළපාලිය අමතමින් මාලි රාජ්‍යය වෙත පිටත්ව යන සියලුම යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් හට​ සුභපැතුම් එක්කරමින් තම රාජකාරියේ වගකීම පිළිබඳ පැහැදිලි කර දී මාතෘභූමියට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ගෞරවයක් ගෙනදෙන ආකාරයට රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

“විනයගරුක හමුදාවක සාමාජිකයෙකු ලෙස ඔබ අද දින සිට සෙබලෙකු මෙන්ම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වශයෙන් වගකීම ඉටුකිරීම සඳහා යොමුවන බව ඔබ සියලුදෙනා හොඳින් මතක තබාගත යුතුයි. ශ්‍රී ලංකා මාතාවගේ සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ශ්‍රී ලංකා ධජය, එක්සත් ජාතීන්ගේ ධජය, යුද්ධ හමුදා ධජය සහ ගැමුණු හේවා බලකා ධජයේ අභිමානය ආරක්‍ෂා කිරීමට ඔබ බැඳී සිටිනවා. වර්ෂ 1962 දී ආරම්භ කරන ලද ගැමුණු හේවා බලකාය මේවනවිට නිත්‍ය ඒකක 14 කින් සහ ස්වේච්ඡා ඒකක 6 කින් සමන්විත වන අතර ගැමුණු හේවා බලකාය ප්‍රථම වරට 2005 වසරේදී සාමසාධක රාජකාරින් සඳහා හයිටි රාජ්‍යය වෙත දිවයිනෙන් පිටව ගියා. එමෙන්ම, 2012 වර්ෂයේදී ගැමුණු හේවා බලකායේ කණ්ඩායමක් ප්‍රථම වරට ලෙබනනයේ සාමසාධක මෙහෙයුම් සඳහා දිවයිනෙන් පිටත්ව ගියා. සාමසාධක මෙහෙයුම් රාජකාරීන්හී නිරත වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වශයෙන් සන්ධිස්ථානයක් සනිටුහන් කළ ගැමුණු හේවා බලකායේ සාමාජිකයින් වන ඔබ මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා නික්ම යන 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි ලෙස රටේ විදේශ විනිමය අවශ්‍යතාවය දැඩිව පවතින අවස්ථාවක වටිනා මෙහෙවරක නිරත වනු ඇත.”

“මෙවර සාමසාධක රාජකාරීන් සඳහා මාලි රාජ්‍යය වෙත පිටව යන 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි සඳහා විවිධ රෙජිමේන්තු සහ රාජ්‍ය ආයතනවල සහයෝගය යුද්ධ හමුදාවට ලැබී තිබෙනවා. ඒ වාගේම, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී, රෙජිමේන්තු අධිපතිවරුන් සහ කර්නල් සේනාවිධායකවරුන්, විදේශ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කුකුළේගඟ සාමසාධක මෙහෙයුම් පුහුණු පාසල් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලුම පාර්ශවයන් වෙත මාගේ ප්‍රශංසාව හිමිවිය යුතුයි.”

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා භටපිරිස් අමතමින් අන් අයට ඉටුකිරීමට නොහැකි ඉතා අපහසු කාර්යයන් වුවත් ඉතා උසස් අන්දමින් ඉටුකිරීමට හැකියාවක් ඇති හමුදාවක් ලෙස, සෑමවිටම සිය වගකීම උපරිමයෙන් ඉටුකිරීමට සූදානම්ව සිටින බැවින්, අවැසි සියලු පහසුකම් ලබාදීමටත්, හැකි සෑම ආකාරයකින්ම හොඳම පහසුකම් සහ සුබසාධන සහන ඔබ වෙත ලැබිය යුතු බවත් ප්‍රකාශ කරන ලදී. ඔබගේ කැපවීම කාගෙත් ප්‍රශංසාවට ලක්වන අතර එම කීර්තිය සැමදා රැකගැනීම ඔබේ යුතුකම වන බවද එතුමන් පැවසීය.

සාමසාධක භටයන් ලෙස ජාත්‍යන්තර හමුදා සාමාජිකයින් අතර වෘත්තීමය නිපුනත්වයෙන් මනා ලෙස රාජකාරි ඉටුකරමින් යුද්ධ හමුදාවේ ගෞරවය රකිමින් රාජකාරි කටයුතු සිදුකරන මෙන් එතුමන් ප්‍රකාශ කරන ලදී. විදේශ රටක් තුළ සාමසාධක රාජකාරි සිදුකිරීම සඳහා යාමට හැකිවීම තුලින් ඔබගේ දැනුම වර්ධනය කරගැනීමට හැකිවීම සහ එහි වටිනාකම පිළිබඳව ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් පැහැදිලි කරන ලදී.

ඉන් අනතුරුව, නිලධාරීන් 20 ක් සහ සෙසුනිලයින් 223 දෙනෙකුගෙන් සමන්විත සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමීය. පසුව, මාලි රාජ්‍ය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි අණදෙන නිලධාරි කර්නල් චන්දන ජයමහ ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලිය පරික්‍ෂාවට ලක් කරන ලදි. එම අවස්ථාවට දෙවන අණදෙන නිලධාරී මේජර් සී. ඒකනායක ද සහභාගි විය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 ක් නියෝජනය කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන් සඳහා මාලි රාජ්‍යය බලා පිටත්වීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි (Combat Convoy Company) යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.

ගැමුණු හේවා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයින් මුලික කොටගත් මෙම එක්සත් ජාතින්ගේ සාමසාධක භට කණ්ඩයට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය නියෝජනය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් ද ඇතුලත් විය.

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරින් සඳහා පිටත්ව යන 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම - මාලි, මීට මාස කිහිපයකට ප්‍රථම කුකුලේගඟ සහ මාදුරුඔය ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයන්හිදී සිය පුහුණුවීම් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන ආඥා මූලස්ථානයේ ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ තවත් නිලධාරින් පිරිසක් ද එක්ව සිටියහ.