Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2022 06:04:26 Hours

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ රාජකාරි කරන පළමු දිනය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

2022 සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ රාජකාරි කරන පළමු දිනය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (18) දින උදෑසන ආරම්භ කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් ද සහභාගී වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ පළමු රාජකාරි කරන දිනය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම නිලධාරින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් දිසානායක විසින් උණුසුම් අයුරින් පිළිගත්හ.

අලුත් අවුරුදු උදාව සංකේතවත් කරමින් මෙදින සාම්ප්‍රදායික තේ පැන් සංග්‍රහයක් පැවැත්වූ අතර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාව සඳහා සහභාගී වූ සියලු දෙනා වෙත අලුත් අවුරුදු සුබපැතුම් එක්කරමින් විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කළේය.

මෙම තේ පැන් සංග්‍රහය අතරතුර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සියලු නිලයන් සමඟින් අදහස් හුවමාරු කරගනිමින් සුහඳ පිළිසඳරක යෙදුනේය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් අජිත් දිසානායක, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ඒ.සී. ලමාහේවා, නාවික හා ගුවන් හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් කොමදෝරු පූජිත සුගතපාල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යක්‍ෂ සුනිල් දිසානායක මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ.