Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2022 16:43:08 Hours

“සාමකාමී මහජනතාවට බාධාවන අයුරින් කිසිදු ක්‍රියාකාරකමක් සිදුකිරීම, එයට අනුබල දීම හෝ ඒ සඳහා සූදානම් වීමක් යුද්ධ හමුදාවේ නොමැති බව” ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති පවසයි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් අද (18) දින පෙරවරුවේ සම්ප්‍රදායානුකූලව සියලු නිලයන් ඇමතීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුළු යුද්ධ හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින්, ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් ඇතුළු සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වූ අතර, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් භටපිරිස් අමතන ලදී.

එහිදී අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් මෙසේ පැවසීය.

“වෘත්තීයමය හමුදාවක සාමාජිකයන් වශයෙන් විටින් විට ප්‍රචාරය වන පදනම් විරහිත අසත්‍ය කටකතා, චෝදනා සහ ඇතමුන් විසින් ගොතන ලද ප්‍රකාශ හමුවේ අප නොසැලී කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වාගේම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානයන්ට අනුකූලව සෑම විටම රාජ්‍යය සහ මහජනතාව ආරක්‍ෂා කිරීම වෙනුවෙන් අප බැඳී සිටිනවා. ඔබ අප සැමදෙනා භුක්ති විඳින මේ නිදහස හා සාමය මානුෂීයත්වය පෙරදැරි කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් වන අපගේ ලේ දානයෙන්, කාය දානයෙන් සහ ජීවිත දානයෙන් උදාකරගත්තක් බව මේ මොහොතේ සිහිපත් කළ යුතු වෙනවා. රටේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේදී අප සියලුදෙනා වෙත ඉතාමත් භාරදූර මෙන්ම වගකිවයුතු රාජකාරියක් සෑමවිටම පැවරී තිබෙන බව අප සිහි තබාගත යුතුයි.”

“ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වශයෙන් අප සෑමවිටම මෙරට ජනතාව සහ ඔවුන්ගේ යහපත පිණිස කටයුතු කරනු ලබනවා. ඒ වාගේම, වර්තමානයේ ඇතැම් ප්‍රකාශයන්හි සඳහන් පරිදි කිසි විටෙකත් කිසිදු පුරවැසියෙකුට පීඩාවක් හෝ හානියක් සිදුවන ආකාරයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදාව කටයුතු නොකරන බව අවධාරණය කළ යුතුයි. ශ්‍රී ලංකා පොලීසිය විසින් අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහය ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවකදී මාතෘභූමියත්, එහි වාසය කරන සියලු ශ්‍රී ලාංකික ජනතාවත්, ඔවුන්ගේ දේපළත් රටේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූලව ආරක්‍ෂා කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බැඳීසිටින බව” යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කරන ලදී.

“අන් කිසිවෙකුට සිදුකළ නොහැකි ඕනෑම භාරදූර කාර්යයක් ඉටුකිරීමටත්, ජීවිත අවධානම නොතකා ඕනෑම දුෂ්කර අවස්ථාවකට මුහුණදෙමින් රටේත් එහි ජනතාවගේත් සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමේ හැකියාවක් ඇති ශ්‍රී ලංකාවේ විශාලතම මානව සම්පත වන අප හට එම හැකියාවන් රටේ යහපත වෙනුවෙන් ඵලදායීව යොදාගැනීමේ මහඟු වගකීමක් නිරන්තරයෙන් පැවරෙනවා.”

“එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සෑමවිටම අනෙක් හමුදාවන් හා එක්ව රටේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා පෙරමුණගෙන කටයුතු කරන අතර, එහිදී යුද්ධ හමුදාව සඳහා වෙනත් න්‍යායපත්‍රයන් හෝ සැඟවුණු අරමුණු නොමැති බවත් වර්තමානයේ යම් යම් පාර්ශවයන් විසින් පදනම් විරහිත නිශ්ඵල චෝදනාවන් ත්‍රිවිධ හමුදාව වෙත එල්ල කිරීමේ ප්‍රවණතාවයක් පැවතුණද එවැනි චෝදනා ඉතා උපේක්‍ෂාවෙන් දරා සිටීමේ හැකියාවක් අප සතුවනවා.”

“මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සියලුම යුද්ධ හමුදා හා අනෙකුත් හමුදාවල සාමාජිකයින් විසින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරනු ලැබූ අපරිමිත කැපකිරීම බුද්ධිමත් අප ශ්‍රී ලාංකීය ජනතාව කිසිදා අමතක නොකරනු ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම, ඕනෑම ව්‍යසනයකදී, කරදරයකදී හෝ නීතිවිරෝධී ක්‍රියාකාරකම් වලින් අප රටේත්, එහි ජනතාවගේත් සහ ඔවුන්ගේ දේපළවලටත් සිදුවිය හැකි විනාශයන්ගෙන් ආරක්‍ෂා කරගැනීමේ ව්‍යවස්ථානුකූල වගකීමක් අපසතුව ඇති බව ඔබ සියලුදෙනා මතක තබාගැනීම ඉතා වැදගත්.”

“පසුගිය කොවිඩ් - 19 වසංගත සමයේදී තමන්ගේ දෙමාපියන්, දූ දරුවන් සහ පවුලේ සාමාජිකයින් පවා භීතියෙන් සිටින විටත් ඇතැම් විට ඔවුන් කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින විටදීත් ඒ අවදානම පවා නොතකමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම, ආසාදිතයින් සහ ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම, නිරෝධායන මධ්‍යස්ථානවලට පහසුකම් සැලසීම, දීප ව්‍යාප්ත එන්නත්කරණ වැඩසටහන් සිදුකිරීම සහ ඒ අයට ප්‍රතිකාර කිරීම තුළින් ඉතා ආරක්‍ෂාකාරී සහ සෞඛ්‍යාරක්‍ෂිත වාතාවරණයක් රට තුළ ඇතිකිරීමට හැකියාව ලැබී ඇති බව ප්‍රකාශ කළයුතු අතර, ඉදිරියේදීත් එවන් ඕනෑම කැපකිරීමක් මාතෘභූමිය වෙනුවෙන් ඉටුකිරීමට අප නිරතුරුව කැපවී සිටිය යුතු බව ඔබ ඉතා හොඳින් වටහාගත යුතුයි.”

වැඩසටහන අවසානයේදී යුද්ධ හමුදාධිපතිතුමා විසින්, උදා වූ නව වසර සියලු යුද්ධ හමුදා සාමාජිකයින්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත්, යුද්ධ හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ සියලු ලක්වාසීන්ටත් සෞභාග්‍යමත් නව වසරක් වේවායි ප්‍රාර්ථනා කළේය.