Header

Sri Lanka Army

Defender of the Nation

14th April 2022 09:07:29 Hours

නව වසරේදීත් අපගේ වෘත්තීය භූමිකාවන් වෙනුවෙන් තවදුරටත් කැපවෙමු!

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ට සුබපැතුම් එක් කර නව අවුරුදු සුභාශිංෂන පළකරයි.

එම අලුත් අවුරුදු පණිවුඩය පහතින් දැක්වේ:

2022 වර්ෂයේ සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරනු ලබන පණිවුඩය

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟම උදාවන සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාව හෙවත් සූර්ය මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලුම සාමාජිකයන්ටත් සිවිල් සේවක කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුල්වල සැමටත් මාගේ නව අවුරුදු සුභාශිංෂනය මින් පළකරමී.

සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාව ශ්‍රී ලාංකිකයින් සතු සංස්කෘතිය, සුහදහීලිත්වය, ජාතීන් අතර සංහිදියාව හා අන්‍යෝන්‍ය විශ්වසය හොදින් ප්‍රදර්ශනය වන උත්සවයකි. මෙම සම්ප්‍රදායයන් ඉදිරියටත් පවත්වාගෙන යාම අප සියලුදෙනාගේ වගකීමක් වන අතර, මෙම මහා සංස්කෘතික මංගල්‍යයේදී අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර තුළින් දරු දැරියන් මෙන්ම විඩිහිටියන්ද වසර ආරම්භයට නව ජවයක් ලබාගන්නා බවද මා විශ්වාස කරමී.

පසුගිය වර්ෂය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් මෙන්ම සමස්ත ශ්‍රී ලංකාවාසීන්ටම ඉතාමත් අභියෝගාමත් වසරක් වුණු බව සිහිපත් කරමී. එසේ වූවත්, සමස්ත රටවැසියන්ගේ කැපකිරිම්, රටේ සෞඛ්‍ය සේවාවන්, ආරක්‍ෂක අංශයන් සහ අනෙකුත් සෑම ආයතනයකම කැපවීම හා දායකත්වය මත කොවිඩ් වසංගතය මර්දනයේදී ජයග්‍රාහී මාවතකට පැමිණීමට හැකිවීම, රටක් වශයෙන් අප ලැබු සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස මා සලකමී. ශ්‍රී ලාංකික සිංහල හා දමිළ ජනතාව අලුත් අවුරුදු චාරිත්‍රයන්ට මූලිකත්වය දෙමින් උත්සවාකාරයෙන් සමරන අලුත් අවුරුදු උදාව, සියලු පාර්ශවයන්ගේ කැපකිරීම් හා දායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස සැමට එක්වී සැමරීමට අවස්ථාවක් උදාවීම සතුටට කරුණක් බවද සඳහන් කරමී.

කොවිඩ් මර්දන රාජකාරීන් වලින් අනතුරුව රජයේ හරිත කෘෂිකාර්මික ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය” හරහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දායකත්වය ලබාගැනීමට කටයුතු කරනු ලැබු බව ඔබ දන්නා කරුණකි. එහිදි පෙර නොවු අයුරින් රටතුළ හරිත කෘෂිකර්ම කටයුතු සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා සම්බන්ධ වෙමින් කෘෂිකර්ම බලධාරීන් හා ගොවිජනතාව අතර, මනා සම්බන්ධීකරණයක් ගොඩනැංවීමටත් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිකර, රටෙහි කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා දායකවීමටත් හැකිවූ බවද සිහිපත් කරමී. එසේම, අභයෝගාත්මක තත්ත්වයන් මත වූවද රටේ කඩිනම් සංවර්ධන ව්‍යාපෘතී හා මහජන සේවාවන් ඉටුකිරීම වෙනුවෙන් ගෙවීගිය වසරේදී ලබාදුන් අපිරිමිත දායකත්වයද මම විශේෂයෙන් අගය කරන අතර, නව වසරේදීත් ඒ සඳහා කැපවෙනු ඇතැයි මා අපේක්‍ෂා කරමී.

2022 වසරේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද අප සමරනු ලබන්නේ ඉතාමත් තීරණාත්මක හා අභියෝගාත්මක කාලපරිච්ඡේදයකදී බව ඔබ හොදින් දන්නා කරුණකි. වර්තමානයේ රටතුළ පවතින ආර්ථික තත්ත්වය මා සාමාන්‍ය ජනතාවගේ මූලික දෛනික අවශ්‍යතාවයන් සපුරාගැනීමේදී ඇතිවී තිබෙන යම් යම් අපහසුතාවයන් මත රටේ ජනතාව ඒ සඳහා ඉල්ලීම් සිදුකරණ වාතාවරණයක් තුළ මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව බුද්ධිමත් රණවිරුවන් වන ඔබ හොදින් වටහාගෙන ඇතැයි මා විශ්වාස කරමී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙරට මුහුණදුන් සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම මාතෘභූමියත් එහි වාසය කරන ජනතාවත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඉදිරිපත්වී රටේ සාමාන්‍ය මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැපවීමෙන් දායකත්වය ලබාදුන් සංවිධානයක් බව ඉතිහාසය තහවුරු කර තිබේ. ඒ අයුරින්ම, පසුගිය දින කිහිපයේදී රටෙහි ගොඩනැගි ඇති වත්මන් අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදීමේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු විනයගරුක බව හා උසස් වෘත්තීමයභාවය සමස්ත රටවැසියන්ට මෙන්ම ජාත්‍යන්තරයට පවා පෙන්නුම් කිරීමට හැකිවී තිබෙන බවද සඳහන් කිරීමට කැමැත්තෙමී.

මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළදී විවිධ පාර්ශවයන් විසින් යුද්ධ හමුදා සාමාජිකයන් සතු ධෛර්යය හා මානසික ඒකාග්‍රතාවය බිදහෙලීම සඳහා විවිධ අයුරින් උත්සාහ කළත් කීර්තිමත් යුද්ධ හමුදා රණවිරුවන් වන ඔබ මනා අවබෝධයකින් හා විශ්වාසයෙන් යුතුව තම වගකීම් ඉටුකරනු ඇතැයිද මා විශ්වාස කරමී. යුද්ධ හමුදාවට මුහුණදීමට සිදුවුණු සෑම අභියෝගයකදීම “නොහැක්කක් නොමැත” යන ආදර්ශය අනුව යුද්ධ හමුදාවේ වීරෝදාර රණවිරුවන් සතු සමගිය ශක්තියක් කරගනිමින් ජයග්‍රාහණය කළ අයුරින්ම මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය ජයග්‍රහණය කිරීම සඳහා රණවිරු ඔබගේ උපරීම සහයෝගය ලබාදීය යුතුබවද මා සඳහන් කරමී. එසේම මාතෘභූමියත් මහජනතාවත් සුරක්‍ෂිතකරමින් ජාතික ආරක්‍ෂාව සැලසීමට ක්‍රියාකිරිමේදී යුද්ධ හමුදාව කෙරෙහි මහජනතාව තුළ පවතින ප්‍රසාදය රැකගනිමින් කටයුතු කිරීම ඔබ සැමගේ වගකීමක් බවද මා අවධාරණය කිරීමට කැමැත්තෙමී.

විවිධ අභියෝග පැවතියත් යුද්ධ හමුදා පස් අවුරුදු මුලෝපායික සැලැස්ම අනුව යුද්ධ හමුදාවේ කාලානුරූපව සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් හා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේත් ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් පසුගිය වසරේදී සිදුකිරීමට හැකිවුනු බවත් සිහිපත් කරමී. එසේම සියලුම යුද්ධ හමුදා රණවිරුවන්ගේත් රණවිරු පවුල්වලත් සිවිල් කාර්ය මණ්ඩලයේත් සුබසිද්ධිය වෙනුවෙන් සුභසාදක ව්‍යාපෘති ගණනාවක්ද ක්‍රියාත්මක කිරීමට හැකිවුණු අතර, සෑම යුද්ධ හමුදා රණවිරුවෙකුම තමාගේ නිවසක හිමිකරුවකු කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකරමින් “විරු අභිමන්” නිවාස ණය යෝජනා ක්‍රමය හදුන්වා දීමට හැකිවුණු බවද සතුටින් සිහිපත් කරමී. පසුගිය කාළසීමාවේදී ඉතා විශාල නිලධාරීන් හා සෙසුනිලයින් පිරිසකට නිල උසස්වීම් ලබාදුන් ආකාරයෙන්ම නව වසරේදීත් උපරිම පිරිසකට නිල උසස්වීම් හිමිකර දීමට කටයුතු කර ඇති බවද සඳහන් කිරීමට කැමැත්තෙමී. එසේම රෙජිමේන්තු මධ්‍යස්ථාන, බලඇණි, පුහුණු පාසල් ඇතුලු සෑම යුද්ධ හමුදා කඳවුරකම යටිතල පහසුකම් සෙබලාගේ වෘත්තිය ගරුත්වය ආරක්‍ෂාවන අයුරින් සංවර්ධනය කිරීමට මා ප්‍රමුඛ අවධානයක් යොමුකර තිබෙන බවද සිහිපත් කරමී.

“රටේත් එහි වාසය කරන ජනතාවගේත් ආරක්‍ෂකයා” වන වීරෝදාර රණවිරු ඔබට නව වසරේදී පැවරෙන සියලු අභියෝගයන් සාර්ථකව ජයගැනීම සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්ය හා ආශිර්වාදය නිර්න්තරයෙන් හිමිවේවායිද ප්‍රාර්ථනා කරමී. අවසන් වශයෙන් යුද්ධ හමුදාවේ සේවයෙන් නියුතු සියලුම රණවිරුවන්ටත් සාමසාධක රාජකාරීන්හී නියුතු රණවිරුවන්ටත් සිවිල් කාර්යමණ්ඩලයටත් එම සියලුම පවුල්වල ආදරණීය සාමාජිකයන්ටත් රණවිරු පවුල්වල සැමටත් ලැබුවාවු 2022 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය හා නිරෝගීමත්භාවය සපිරි ඉසුරුමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමී.

ඔබ සැමට විජයග්‍රාහී අනාගතයක් උදාවේවා !!