01st April 2022 16:51:58 Hours
වසර 28 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම ගැනීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මූලස්ථානයේ විනිසුරු අධිනීතීඥ ජෙනරාල් මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ පසුගිය බදාදා (30) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපවීම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.
එමෙන්ම, මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ නීති උපදේශන සහ එම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ නීති අධ්‍යක්‍ෂ ධුරය හොබවමින් සිදුකරනු ලැබූ අනගි සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක්විය.
ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ සිය සේවා කාලය තුල රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් වෙනුවෙන් සිය කෘතඥතාවය ද පිරිනැමුවේය. මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ ගේ සේවය අගය කරමින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.
මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ;
වර්ෂ 1993 ඔක්තෝබර් මස 01 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ මේජර් ජෙනරල් එඩ්වඩ් ජයසිංහ කපිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්විය.
එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුල 3 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි III (නීති), යුද්ධ හමුදා මූලස්ථානයේ නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II (නීති) සහ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් (නීති) ධූරයන් ද හෙබවූවේය.
එමෙන්ම, යුද්ධ හමුදා මූලස්ථානයේ නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි I (විනය, මූලික පරීක්‍ෂණ උසාවි අංශය), හයිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කණ්ඩයේ නීති නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කාර්යයේ නියුතු අධ්‍යක්‍ෂ, යුද්ධ හමුදා මූලස්ථානයේ වැඩබලන විනිසුරු අධිනීතීඥ ජෙනරාල් සහ යුද්ධ හමුදා මූලස්ථානයේ නීති සේවා අධ්‍යක්‍ෂ ධූරයන් ද එතුමන් විසින් හොබවා ඇත.
තවද, එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ නීති සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ වැඩබලන විනිසුරු අධිනීතිඥ ජෙනරාල් මෙන්ම විනිසුරු අධිනීතිඥ ජෙනරාල් ධූරයන් ද හොබවා ඇත. එතුමන් මේ වනවිට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නීති උපදේශක ලෙස ද කටයුතු කරනු ලබයි.