Header

Sri Lanka Army

Defender of the Nation

31st March 2022 17:52:09 Hours

සිවිල් වැසියෙක් පැහැරගැනීමට අනුබල දුන් යුද්ධ හමුදා නිලධාරියා සේවයෙන් පහකරයි

(මාධ්‍ය නිවේදනය)

නොරොච්චෝලේ, පනිඅඩි ප්‍රදේශයේ පවුල් දෙකක් අතර දිගුකාලීනව පැවති පෞද්ගලික ආරවුලකට මැදිහත් වූ කපිතන් නිලයේ යුද්ධ හමුදා නිලධාරියා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විමර්ශනවලින් අනතුරුව පැවැත්වූ යුද්ධ අධිකරණ තීන්දුවට අනුව 2022 මාර්තු මස 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදා සේවයෙන් පහකර ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකය සිය විමර්ශන කටයුතුවලින් අනතුරුව අදාළ සිවිල් වැසියා පැහැරගෙන යාමේ වගකීම සහ ඒ සඳහා සෙසුනිලයින් මෙහෙයවා අවශ්‍ය උපදෙස් ලබාදීම හේතුවෙන් 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතන් ඕමත්තගේ නිශාන්ත මදුශංක පෙරේරා වරදකරු වී ඇති බව 2021 ජූලි මස 12 වන දින අවසන් කළ හමුදා පොලිස් විමර්ශනවලින් තහවුරු කරගෙන තිබිණි.

ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2021 ජුනි මස 30 දින යුද්ධ හමුදා සාමාජිකයින් මෙම සිද්ධියට අදාළව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුළුල් පරීක්‍ෂණ පවත්වන නොරොච්චෝලේ පොලිසියට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් ලබාදෙන ලදී. එලෙස, ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා පොලිසිය දින කිහිපයක් ඇතුළත අදාළ කපිතන්වරයා ඇතුළු සැකකාර යුද්ධ හමුදා සාමාජිකයන් සිවිල් නීතියට අනුකූලව නීතිමය ක්‍රියාමාර්ග සිදුකිරීම සඳහා නොරොච්චෝලේ පොලිස් ස්ථානය වෙත භාරදෙනු ලැබිණි.

අනතුරුව, 1949 අංක 17 දරණ යුද හමුදා පනතේ විධිවිධානයන්ට අනුව 129 (1) වගන්තියට අනුව ‘සේවයේ යෙදී සිටින අතරතුර හමුදා විනයට අගතියක් වන ලෙස හැසිරීම’ යන චෝදනාව යටතේ අදාළ යුද්ධ හමුදා නිලධාරියාට එරෙහිව 2021 දෙසැම්බර් මස 27 දින පත්කරනු ලැබු යුධ අධිකරණයේ ඇරඹුණු නඩු විභාගයේ අවසන් තීන්දුව 2022 මාර්තු 10 දින යුද්ධ හමුදා විනිසුරු අධිනීතිඥ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකුගෙන් සමන්විත යුද අධිකරණයක බලතල ප්‍රකාරව තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ යුද්ධ හමුදා නිලධාරියා දඬුවම් ලැබිය හැකි චෝදනාවට වැරදිකරු බව ඒකමතිකව තීරණය වූ අතර එකී යුද අධිකරණය මගින් ඔහු සේවයෙන් පහකිරීමට නිර්දේශ කරනු ලැබීය. යුද අධිකරණයේ එම නඩු තීන්දූව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් 2022 මාර්තු මස 30 වන දින තහවුරු කරනු ලැබීය.

එම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සෙබළුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග පිළිවෙත තවමත් ක්‍රියාත්මක වෙමින් පවති. (නිමාව)