29th March 2022 18:06:51 Hours
බංගලාදේශයේ 51 වන නිදහස් දිනය හා ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පසුගිය සෙනසුරාදා (21) දින කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයන්හි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හා ආරක්‍ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ.
බංගලාදේශ මහ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් විශේෂ ආරාධිතයෙකු ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද එම අවස්ථාව සඳහා සහභාගී විය.
කලාපීය වශයෙන් ආරක්‍ෂාව සඳහා බංගලාදේශ සන්නද්ධ හමුදාවන් විසින් මෙරට සන්නද්ධ හමුදාවන් සමඟ පසුගිය වසර කීපය පුරා සිදුකරන ලද ඒකාබද්ධ යුධ අභ්‍යාස සහ හමුදාමය දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන් සඳහා විශාල සහයෝගීතාවයක් දක්වන අතර, ඒ අනුව බංගලාදේශ ජාතික ආරක්‍ෂක විද්‍යාලය මගින් මෙරට යුද්ධ, ගුවන් හා නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් මාණ්ඩලික පාඨමාලා, නායකත්ව වැඩසටහන්, ප්‍රතිත්‍රස්ථ කැලෑ බඳ සටන් පුහුණු පාඨමාලා (CIJW), අවි ආයුධ පුහුණු අභ්‍යාස, පැරෂුට් පාඨමාලා, උසස් ශාරිරික අභ්‍යාස පුහුණු පාඨමාලා (APT) වැනි පාඨමාලා සහ වැඩසටහන් රාශියක් ලබාදීම මගින් දෙරට අතර පවතින සුහදත්වය සහ අන්තර් සහයෝගීතාවය වඩ වඩාත් පිළිඹිබු කරයි.
බංගලාදේශ මහ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් මෙම උත්සවයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ පැමිණිම තුළින් දෙරට අතර පවතින සන්නද්ධ හමුදාවන්හි සහ ජාතීන් අතර ඇති සුහද සබඳතාවය තවදුරටත් තහවුරු කිරිම සංකේතවත් කරන ලදී.
ඒ අනුව ගාලු මුවදොර හෝටල් පරිශ්‍රය වෙත පැමිණි ආරාධිතයින් බංගලාදේශ මහ කොමසාරිස් අතිගරු ‘තාරෙක් එම්.ඩී අරිෆුල් ඉස්ලාම්’ (Tareq Md Ariful Islam) සහ එතුමන්ගේ ආර්යාව විසින් උණුසුම් අයුරින් පිළිගෙන සුහදව අදහස් හුවමාරු කරගත්හ.
මෙම සැමරුම් උත්සවය සඳහා මහ කොමසාරිස් කාර්යාල කීපයක තානාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ආරක්‍ෂක උපදේශකයින් පිරිසක් ද සහභාගී වුුහ.