Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2022 18:01:43 Hours

‘ජාතික ගෙවතු වගා සංග්‍රාමය 2022’ ව්‍යාපෘතියට යුද්ධ හමුදාවේ දායකත්වය

ඉඩම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ‘අපේ ගෙවත්තෙන් පටන් ගනිමු’ තේමාව යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා සංග්‍රාමය - 2022 ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අද (29) වන දින යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි ඇවිදින මංතීරු පරිශ්‍රය අවට එළවළු පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

පර්චස් 20 ක හෝ ඊට අඩු රජයේ සහ පෞද්ගලික ඉඩම් ඉලක්ක කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක වන ‘හරිත දැයක්’ ජාතික ගෙවතු වගා සංග්‍රාමයේ සමාරම්භක උළෙලට සමගාමීව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (29) දින උදෑසන 0918 ට යෙදුණු සුභ මොහොතින් බටු, බණ්ඩක්කා, මිරිස්, තක්කාලි, සහ තිබ්බටු ආදී එළවළු පැළ 500 ක් පමණ යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව පිහිටි ඇවිදින මංතීරු පරිශ්‍රය අවට රෝපණය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව ඇති ඇවිදීමේ මංතීරු පරිශ්‍රයේ පැවති ‘හරිත දැයක්’ පැළ රෝපණය කිරිමේ වැඩසටහනින් අනතුරුව ‘ජාතික ගෙවතු වගා සංග්‍රාමය 2022’ සමගාමීව හෝමාගම කහතුඩුව ප්‍රදේශයේ පැවති ප්‍රධාන උත්සවයට ද යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී විය. එහිදි පර්චස් 20 හෝ ඊට අඩු ඉඩම්වල පදිංචි සිවිල් වැසියන් අතර එළවළු පැළ බෙදාදෙන ලදී. තවද මීට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක ද මෙම වැඩසටහන දියත් කරන ලදී.

මෙම ජාතික ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් කරන්දෙණිය, නිරාවිය, ආඩියාපුලියාකුලම්, මහව, මැණික්ෆාම්, කිලිනොච්චි, වෙල්ලන්කුලම, අක්කරායකුලම්, කන්කසන්තුරේ, මුලතිව් සහ පනාගොඩ යන ප්‍රදේශවල ස්ථාපිත යුද්ධ හමුදා ගොවිබිම්වල ද එළවළු පැළ රෝපණය කරන ලදි.

යුද්ධ හමුදා මූලස්ථානයට යාබදව ඇති ඇවිදීමේ මංතීරු පරිශ්‍රය තුළ සංවිධානය කරන ලද ‘හරිත දැයක්’ වගා ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝශ රාජපක්‍ෂ ගේ අධීක්‍ෂණය යටතේ එම අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදි.

මෙම ජාතික ගෙවතු වගා සංග්‍රාම වැඩසටහන සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, මූල්‍ය කළමණාකරන අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

(යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති ප්‍රධාන උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථාන මට්ටමින් දිවයින පුරා පැවති වැඩසටහන්වලට අදාළ ඡායාරූප පහතින් දැක්වේ)