Header

Sri Lanka Army

Defender of the Nation

29th March 2022 11:39:48 Hours

රාජ්‍ය වෙසක් උත්සවය කුරගලදී පැවැත්වීමට සාකච්ඡාවක්

ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන ජාතික වෙසක් උත්සවය සහ ජාතික වෙසක් සතිය මෙවර කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එම උත්සවය රාජ්‍ය මට්ටමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අද (28) දින පෙරවරුවේ කොළඹ 7 බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කූරගල රජමහා විහාරස්ථානයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් වැඩමවා වදාල මෙම සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් අජිත් දිසානායක, යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් අනිල් උදය කුමාර, නාවික, ගුවන් සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අතිරේක ලේකම් අනෝජා පී ගුරුගේ මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ පළාත් පරිපාලන නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවේදී කුරගල රජමහා විහාරයේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත්, විහාරස්ථානයේ නව ඉදිකිරීම් කටයුතු විවෘත කිරීම් පිළිබඳවත්, මැයි මස 15 දිනයට යෙදී ඇති උතුම් වෙසක් පොහෝ දිනයට සමගාමීව සිදුකිරීමට නියමිත බෞද්ධ ආගමික වැඩසටහන් පිළිබඳවත් වෙසක් සතිය (මැයි 15-22) ක්‍රියාත්මක කිරීම පිළිබඳත් සාකච්ඡා කළ අතර පූජනීය චූඩාමානික්කය සහ ධාතු කරඬුව වන්දනා කිරීම සඳහා වැඩම කරවීම සහ ඊට අදාළ අනෙකුත් සියලුම සම්බන්ධීකරණ කටයුතු පිළිබදවත් මෙහිදි සාකච්ඡාවට බදුන් විය.

මෙම අවස්ථාවට වැඩමවා වඳාල කූරගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් කෙටි අනුශාසනාවක් සිදුකරමින් ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන් පෑම සනිටුහන් කරමින් පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවය ක්‍රියාවට නැංවිය යුතු ආකාරය පිළිබඳ කරුණු ගෙනහැර දැක්වූහ. තවද බුද්ධ දේශනාව මුළු ලෝකයේම අවධානයට ලක් ව ඇති කාලයක එහි විශ්වීය වැදගත්කම පිළිබඳව ද මෙහිදි කරුණු පැහැදිලි කළේය.

තවද, මෙම සාකච්ඡාවට සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන ජාතික වෙසක් උත්සවයේ වැදගත්කම සහ වෙසක් උත්සවය පැවැත්වීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ කැපවීම අවශ්‍ය බව අවධාරණය කළේය. තවද කූරගල රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ප්‍රථම ජාතික වෙසක් උත්සවය මෙය වන බැවින් මෙම රාජ්‍ය වෙසක් උත්සවය වඩාත් වැදගත් වනු ඇතැයි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් අදහස් දක්වමින් කරුණු සඳහන් කළේය.

තවද, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ද ජාතික වෙසක් උත්සවය පැවැත්වීම සඳහා රාජ්‍ය දායකත්වය සහ ජාතික උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්විම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු පැහැදිලි කළේය.