23rd March 2022 21:30:53 Hours
හිසට සෙවණක් නොමැතිව ඉතා දුෂ්කරතාවයන් මධ්‍යයේ ජිවිකාව ගෙන ගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් වෙනුවෙන් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් පේදුරුතුඩුව ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස ඉකුත් සඳුදා (21) දින පැවති උත්සවයකදී භාරදෙන ලදී.
නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මුල්‍යමය අනුග්‍රාහකත්වය මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ (1980 දමිළ මාධ්‍ය කණ්ඩායමේ) ආදි ශිෂ්‍ය ආචාර්ය වල්ලිපුරම් ශිවකුමාර් මහතා විසින් ලබාදුන් අතර ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය සහ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය ලබාදුන්හ.
දරුවන් දෙදෙනෙකුගේ මවක් වන නිවාසලාභි නිරෝජින් යොහාම් මහත්මිය වර්ෂ 2009 ට පෙර පැවති යුධමය කාලවකවානුවේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ බලකිරීම මත එම සංවිධානයට එක්ව එල්.ටී.ටී.ඊ සාමාජිකාවක ලෙස කටයුතු කළාය. ඉන් පසුව පුනරුත්ථාපනය වු ඇය, දරුවන් දෙදෙනෙකු සහ ශාරීරික දුබලතාවයෙන් යුත් පෙදරේරුවෙකු වන සැමියා සමඟ හිසට සෙවණක් නොමැතිව ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළාය.
ඒ අනුව, ඔවුන් වෙනුවෙන් ඉදිකල නව නිවස විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ සුරතින් නව නිවසේ යතුර නිවාසලාභියා වෙත ප්‍රදානය කළේය.
එම අවස්ථාවට පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම්, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 551 හා 553 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙන්ම පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, රාජ්‍ය නිලධාරින් සහ ප්‍රතිලාභි පවුලේ සාමාජිකයින් සහභාගි වූහ. එසේම, මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් පරිත්‍යාගශීලි ආචාර්ය ශිවකුමාර් මහතා වෙනුවෙන් වසන්ත බාලසුබ්‍රමනියම් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.
මෙම උත්සවය අතරතුරදී, එම ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වෙනුවෙන් වියලි සලාක පාර්සල් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ද ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් සංවිධානය කරන ලදී.
නිවාසලාභි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාව පුනරුත්ථාපනය වීමට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ අණදීම යටතේ විශ්වමඩු ප්‍රදේශයේ සේවය කර ඇත.