02nd March 2022 19:57:52 Hours
ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයකට අනුව දින පහක නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පකිස්තානු නාවික හමුදා යුද විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන උපාධි අපේක්‍ෂකයින් පිරිසක් බදාදා (02) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
කොමදෝරු සෙයිඩ් අහමඩ් ඕවයිස් හයිඩර් සයිඩි සී (එම්) (Commodore Syed Ahmed Ovais Hyder Zaidi SI (M) ගේ ප්‍රධානත්වයෙන් යුත් 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත කැටුව යන ලදී.
කොමදෝරු සෙයිඩ් අහමඩ් ඕවයිස් හයිඩර් සයිඩි සී (එම්) ගේ ප්‍රධානත්වයෙන් යුත් පකිස්තානු දූත පිරිස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් වසර ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ සහ පකිස්තානු ත්‍රිවිධ හමුදාවන් අතර පවතින ද්වීපාර්ශ්වික සහයෝගීතාවය ඇගයීමට ලක්කරන ලදී. තවද, පකිස්තානු හමුදාවන් විසින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ලබාදෙනු ලබන පුහුණු පාඨමාලා ඇතුලු අනෙකුත් සියලුම සහයෝගීතාවයන් පිළිබඳව ද යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සිය කෘතඥතාවය පුදකළේය.
මෙම සුහද හමුව සමාප්තියේ මේජර් ජෙනරල් විකුම් ලියනගේ විසින් පකිස්තානු දූත පිරිස වෙත සමරු තිළිණ ප්‍රදානය කළ අතර ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව සිදුකිරීම සඳහා සුබපැතුම් එක්කරන ලදී.
ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසය, යුද්ධ හමුදාවේ ජයග්‍රහණ, වත්මන් භූමිකාවන් සහ කර්තව්‍යයන් පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකළ අතර යුද්ධ හමුදා ව්‍යූහය පිළිබඳව ද පකිස්තානු දූත පිරිස දැනුවත් කරන ලදී.
මෙම සුහද හමුව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.
පකිස්තානු නාවික හමුදා යුද විද්‍යාලයේ 51 වන නාවික මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ඉන්දුනීසියාවේ සහ මියන්මාරයේ උපාධි අපේක්‍ෂකයින්ගෙන් සමන්විත 21 දෙනෙකුගෙන් යුත් ත්‍රිවිධ හමුදා දූත පිරිස මාර්තු මස 5 දින දක්වා ශ්‍රී ලංකාව තුල සංචාරයේ නිරත වනු ඇත.
එම කාල සීමාව තුළ පකිස්තානු දූත පිරිස ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, නැව් තටාකාංගනය, නාවික හමුදා කෞතුකාගාරය සහ නාවික හමුදා විද්‍යාපීඨයේ සංචාරය කිරීමට නියමිතව ඇත.