02nd March 2022 11:50:57 Hours
ජාතික හා ජාත්‍යන්තර මට්ටම් දෙකෙහිම තරඟවැදීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණු කිරීම සඳහා යුද්ධ හමුදාව වෙතින් ලබාදෙනු ලබන දායකත්වය මත පසුගිය මාස කිහිපය පුරාවට යුද්ධ හමුදාව තුල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් සුවිශේෂී දස්කම් රැසක් පෙන්වා ඇත.
ජාතික තේරීම් කමිටුවේ සභාපති ධූරය ද හොබවනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව යුද්ධ හමුදා ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබඳ දැඩි ප්‍රමුඛත්වයක් ලබාදී කටයුතු කරනු ලබයි.
දේශීය මෙන්ම විදේශීයව පවතින ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතුවන බව යලි යලිත් තහවුරු කරමින් පසුගිය මාස තුනක කාලයක් තුළ පමණක් ක්‍රිකට්, පැසිපන්දු, වොලිබෝල්, කරාටේ, මෝටර් රථ ධාවන තරඟ, යතුරු පැදි ධාවන තරඟ, බිලියඩ්, මල්ලවපොර, දැල් පන්දු, එල්ලේ, බැඩ්මින්ටන්, මේස පන්දු, දුනු විදීමේ තරඟ, ස්කොෂ්, රග්බි, කඹ ඇදීම, උස පැනීම, බේස්බෝල් සහ අනෙකුත් මළල ක්‍රීඩා ඉසව් වලින් ජයග්‍රහණ හිමිකරගනු ලැබූහ.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පැවති ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වී සිවිල් ක්ෂේත්‍රයේ තරඟකරුවන් සමඟ තරඟවැදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ජයග්‍රහණයන් වාර්ථා කරන ලදී.
පූගොඩ ද්විත්ව ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලැබූ කඹ ඇදීමේ ශූරතාවලිය පසුගිය සෙනසුරාදා (26) දින පූගොඩ බෝධිරාජාරාම පාසල් පරිශ්‍රයේදී පැවති අතර ඒ සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් යුද්ධ හමුදා පිරිමි ‘ඒ’, ‘බී’ සහ තවත් කාන්තා කණ්ඩායම් සහභාගී වූහ. එහිදී, නාවික හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සිවිල් අංශයේ කණ්ඩායම් ඇතුළු දීප ව්‍යාප්ත කණ්ඩායම් 26 ක් අභිබවමින් යුද්ධ හමුදා කණ්ඩායම් විසින් ප්‍රථම ස්ථාන 02 ක්, දෙවන ස්ථාන 01 ක් සහ තෙවන ස්ථාන 01 ක් හිමිකරගැනීමට සමත්වූහ.
ඔවුන් කිලෝග්‍රෑම් 640 බර පංතිය නියෝජනය කරමින් තරඟවැදී ප්‍රතිවාදී කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පරාජය කර මෙම දස්කම් දැක්වූහ. එසේම, මෙම තරගාවලියේදීම කිලෝග්‍රෑම් 560 බර පංතිය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම් ප්‍රථම ස්ථාන සහ දෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත්වූහ.
ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙක්සාස්, ලූබොක් ප්‍රදේශයේ පිහිටි ටෙක් ක්‍රීඩා කාර්ය සාධන මධ්‍යස්ථානයේදී පැවති Lone Star Conference ගෘහස්ථ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාජිකයෙකු උස පැනීමේ ඉසව්ව සඳහා සහභාගී වී ඔහුගේම වාර්ථාවක් බිඳදමමින් මීටර් 2.27 ක නව ජාතික වාර්ථාවක් පිහිටුවීය. Lone Star Conference යනු ජාතික විද්‍යාලීය මළල ක්‍රීඩා සංගමය අනුබද්ධව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සම්මන්ත්‍රණයකි.
එමෙන්ම, පසුගිය දා සිංගප්පූරුවේදී පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ ශූරතාවලිය - 2022 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සැරයන්වරයෙකු කිලෝග්‍රෑම් 67 බර පන්තියෙන් රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල්වරයෙකු කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්වූහ. එම තරඟාවලිය ජයග්‍රහණය කරමින් මෙම තරඟකරුවන් නුදුරේදී එංගලන්තයේ බර්මින්හැම් ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වී ජාත්‍යන්තර තරඟකරුවන් සමඟ තරඟවැදීමට සුදුසුකම් ලබාගත්හ.
මේ අතර, පසුගිය ඉරිදා (27) දින පැවති කරාටේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් - 2022 තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා කරාටේ කණ්ඩායම තවත් කණ්ඩායම් 16 ක් පරාජයට පත් කරමින් ශූරතාව දිනාගැනීමට සමත්වූහ. මෙම තරඟාවලියේදී නාවික හා ගුවන් හමුදාවන්, පොලීසිය සහ දිවයිනේ ප්‍රමුඛ කරාටේ කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම තරඟ වැදුණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවෙහි උන්නතිය උදෙසා ප්‍රමුඛ පෙළ ක්‍රීඩකයින් රැසක් නිර්මාණය කිරීමට පෙරමුණ ගෙන ක්‍රියාකරන ආයතනයක් ලෙස ජාතික ක්‍රිකට් සංචිතයට දක්‍ෂතා වලින් පරිපූර්ණ සුප්‍රකට ක්‍රීඩකයින් රැසක් මේ වනවිටත් දායාද කර ඇත.
පසුගිය කාලය තුළ, යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් මේජර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය - 2021 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මේ වනවිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මේජර් දිනේෂ් චන්දිමාල් සහ සාමාන්‍ය සෙබල මහේෂ් තීක්‍ෂණ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් තරඟ කරනු ලබයි. එසේම, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්ව තරඟවැදීම සඳහා බළලත් නිලධාරි 1 සීක්කුගේ ප්‍රසන්න, මාණ්ඩලික සැරයන් අසේල ගුණරත්න ද බලාපොරොත්තුවෙන් සිටිති.
මේ අතර, පසුගිය සඳුදා (28) දින පැවති තුන්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟයේදී Ace Capital Cricket Club සමඟ තරඟවැදී කඩුලු 7 ක ජයග්‍රහණයක් ලබාගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත් වූහ.
එමෙන්ම, යුද්ධ හමුදා රගර් ක්‍රීඩකයින්ට සමානව යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩකයින් ද විශිෂ්ඨ දස්කම් දක්වමින් සිටිති. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරක්‍ෂක පාපන්දු සමාජය ජාතික මට්ටමේ තරඟාවලීන්හිදී විශිෂ්ඨ ලෙස තරඟවැදී කැපීපෙනෙන ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇත. මේ වන විට ආරක්‍ෂක පාපන්දු සමාජයේ ක්‍රීඩකයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කරන අතර ඔවුන්ගේ පුහුණුකරුවන් යුද්ධ හමුදාවේ සහයෝගය ඇතිව ක්‍රීඩකයින්ගේ දස්කම් ඉහළ නැංවීමට කටයුතු කරනු ලබයි. තවද, යුද්ධ හමුදාවේ රගර් ක්‍රීඩකයින් රටේ වඩාත්ම අභියෝගාත්මක ක්‍රීඩා සමාජ සමඟ තරඟවැදී ජයග්‍රහණ ලබාගනිමින් සිටිති.
යුද්ධ හමුදාවේ රණක්‍ෂිතයට පත්ව සිටින රණවිරුවන් මළල ක්‍රීඩා තරඟාවලීන් සඳහා සහභාගී වන අතර රෝද පුටු භාවිතා කරනු ලබන යුද්ධ හමුදා රණවිරුවන් ද ජයග්‍රහණ අත්කරගනිමින් සිටිති. මීගමුව 10 වන විවෘත ජාත්‍යන්තර රෝදපුටු තරඟාවලිය පසුගිය අඟහරුවාදා (1) දින පැවති අතර එම තරඟාවලියේදී පිරිමි විවෘත ඒකල ඛාණ්ඩය නියෝජනය කළ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් ඩී.එස්.ආර්. ධර්මසේන එම ඛාණ්ඩයේ ජයග්‍රහණය තමන් සතු කරගනු ලැබීය. රෝද පුටු ටෙනිස් සහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් රටටත්, යුද්ධ හමුදාවටත් කීර්තියක් අත්කර දීමට ඔවුන් කැපවීමෙන් ක්‍රියාකර ඇත.
මධ්‍යම ආසියාතික රටවල් නියෝජනය කරනු ලබන කණ්ඩායම් කිහිපයක් පරදවමින් යුද්ධ හමුදා වෙරළ වොලිබෝල් ක්‍රීඩකයින් පසුගිය දා මීගමුව වෙරළ තීරයේදී ඉරාන කණ්ඩායම සමඟ පැවති තරඟයකදී අනුශූරතාවය දිනාගැනීමට සමත්විය.
මාතර - එළියකන්ද මොටෝක්‍රොස් ධාවන පථයේදී පැවති දක්‍ෂිණ ‘Eliyakanda Speed Hill Climb’ මොටෝක්‍රොස් ඉසව්වේ 26 වන වටය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු විසින් SM-SuperMotard 250/450 cc ඉසව්වේ දෙවන ස්ථානය දිනාගනු ලැබීය. Southern Motor Sport Club ක්‍රීඩා සමාජය සමඟ එක්ව Sri Lanka Automobile Sports විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියේ ධාවන පථය මීටර් 600 ක් වේ. මෙම තරඟාවලිය සඳහා යතුරුපැදි ධාවන තරඟ ඉසව් 13 ක් සහ මෝටර්රථ ධාවන ඉසව් 15 ක් ඇතුළත් වූ අතර, මෝටර් රථ ධාවකයින් 120 දෙනෙක් සහ යතුරු පැදි ධාවකයින් 94 දෙනෙකු මෙම තරඟාවලියේදී තරඟ වැදුනි.
මේ අතර, සුගතදාස ක්‍රීඩාංගණයේ දී පෙබරවාරි මස 14 සිට 20 දින දක්වා පැවති 53 වන ජ්‍යෙෂ්ඨ ජාතික පැසිපන්දු තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කණ්ඩායම දිවයින පුරා සිවිල් සහ හමුදා පැසිපන්දු කණ්ඩායම් දහයක් තරඟවැදී එම තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත්වූහ. මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය ඉරිදා (20) දින පැවති අතර එහිදී, වෙළඳසේවා පැසිපන්දු කණ්ඩායමට එරෙහිව තරඟවැදුනු යුද්ධ හමුදා කණ්ඩායම 1977 වර්ෂයෙන් පසු අනුශූරතාවය දිනාගත් ප්‍රථම තරඟාවලිය මෙය වේ.
එමෙන්ම, 2022 ජනවාරි 22 සහ 23 දෙදින තුළ මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැති ජාතික මල්ලවපොර ශූරතාවලිය - 2021 සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මල්ලවපොර කණ්ඩායම නාවික හා ගුවන් හමුදා කණ්ඩායම් ඇතුලු දිවයිනේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 10 ක් සමඟ තරඟවැදී රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනාගනිමින් තරඟාවලියේ තෙවන ස්ථානය හිමිකරගත්හ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දැල්පන්දු කණ්ඩායම් 32 ක සහභාගීත්වයෙන් 2022 ජනවාරි මස 22 සහ 23 දෙදින තුල මහනුවර දිගන ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික දැල්පන්දු ශූරතාවලිය - 2021 සඳහා සහභාගී වූ යුද්ධ හමුදා කාන්තා දැල්පන්දු කණ්ඩායම එම තරඟාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට සමත්විය.
එමෙන්ම, 2022 ජනවාරි මස 23 දින සිට 25 දින දක්වා අම්පාර දිස්ත්‍රික් මහජන ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය අංශයේ අන්තර් ආයතන එල්ලේ තරඟාවලිය - 2022 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 20 ක් සහභාගී වූ අතර එම තරඟාවලියේ ශූරතා කුසලානය - 2022 ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම විසින් දිනාගනු ලැබූහ. මෙම තරඟාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම සහ ජා-ඇල ප්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායම තරඟවැදුණි.
බංගලාදේශයේ ඩකා ප්‍රදේශයේ ෂහීඩ් තාජුඩීන් අහමඩ් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දෙසැම්බර් මස 1 දින සිට 5 දින දක්වා පැවති ‘Yonex Sunrise Bangladesh International Challenge-2021’ බැඩ්මින්ටන් තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩකයින් පිරිමි ඒකල ඉසව්වේදී ඉන්දියානු ක්‍රීඩකයින්ට එරෙහිව තරඟවැදී ශුරතාවය දිනාගැනීමට සමත්විය.
මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ක්‍රීඩකයෙකු සහභාගී වූහ. තරඟාවලිය සඳහා ඉන්දියාව, මැලේසියාව, මාලදිවයින, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය, සැම්බියාව, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 9 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ. 2021 දෙසැම්බර් මාසයේදී පැවති ජාතික දුනු විදීමේ ශූරතා තරඟාවලිය - 2021 සඳහා තරඟවැදුනු යුද්ධ හමුදා දුනු විදීමේ කණ්ඩායම ඉන් ජයග්‍රහණ රැසක් අත්කරගනිමින් ජාතික ඉසව්වේ රන් පදක්කම් හතරක් සහ රිදී පදක්කමක් දිනාගනු ලැබූහ.
මේ අතර, ජාතික කඹ ඇදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 16 වන ජාතික කඹ ඇදීමේ ශූරතාවලිය - 2021 කොළඹ ටොරින්ටන් පිටියේදී පසුගිය දා පැවති අතර එහිදී, යුද්ධ හමුදා ක්‍රීඩකයින් පිරිමි හා කාන්තා කාණ්ඩ යටතේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා සමාජ 37 ක් සමඟ තරඟවැදී තරඟාවලියේ සමස්ථ ශූරයින් බවට පත්වූහ. මීට අමතරව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් 7 ක් ශූරතා තරඟාවලියට සහභාගී වූ අතර ඔවුන් විශිෂ්ඨ ජයග්‍රහණ හිමිකරගනිමින් සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.
එමෙන්ම, Sri Lanka Baseball Knockout Championship බේස්බෝල් තරඟාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා සහ පිරිමි බේස්බෝල් කණ්ඩායම් දෙකම ශූරතාවයන් දිනාගැනීමට සමත්වූහ. පසුගිය දා පැවැති ජාතික මේසපන්දු ශූරතාවලියේ ශූරතාව සහ අනුශූරතාව (වසර 35 – ද්විත්ව) හිමිකර ගැනීමට යුද්ධ හමුදා මේසපන්දු ක්‍රීඩකයෝ සමත් වූහ.
ජපානයේ ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී 2021 අගෝස්තු මස 30 දින පැවති පැරා ඔලිම්පික් තරඟාවලිය සඳහා හෙල්ල විසිකිරීමේ තරඟය නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් දිනේෂ් ප්‍රියන්ත (විශ්‍රාමික) පිරිමි F46 කාණ්ඩයේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. එහිදී, ඔහු මීටර් 67.79 ක දුරක් වාර්ථා කරමින් රන් පදක්කම දිනාගනු ලැබීය.
තවද, ටෝකියෝ නුවර පැවැත්වෙන 32 වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වෙඩිතැබීමේ ඉසව්වන්හී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කිරීම සඳහා ලුතිතන් කර්නල් ඩී.එම්.ටී.සී දසනායක සහභාගී කරවීමට ද යුද්ධ හමුදාව වෙත ආරාධනා ලැබිණි. ඔලිම්පික් උළෙලේ වෙඩිතැබීමේ ඉසව්වේ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රථම වරට තෝරාගැනීම රටටත් යුද්ධ හමුදාවටත් සැබවින්ම ගෞරවයක් වනු ඇත.