26th February 2022 22:05:33 Hours
ශ්‍රී ලංකා - චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා වලට වසර 65 ක් සපිරීම නිමිත්තෙන් චීනයේ පිහිටා ඇති ඓතිහාසික බෞද්ධ විහාරස්ථානවල සහයෝගය මත අනුරාධපුර ඓතිහාසික අභයගිරිය විහාරස්ථානය සහ මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පරිශ්‍රයේදී සෙනසුරාදා (26) දින උදෑසන සෙත් පිරිත් සජ්ඣායනා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති අතිගරු ක්ෂී ෂෙන්හොන්ග් (H.E. Qi Zhenhong) මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ නියෝජිතයන් ඇතුළු තවත් බැතිමතුන් සහභාගී වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ප්‍රාදේශීය සහයෝගිතා අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමන් එක්විය. එමෙන්ම, මෙම අවස්ථාවේදීම බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති චීනයේ ඓතිහාසික විහාරස්ථානයක් වන බීජිං හි පිහිටි ලින්ග් ගුවාන් විහාරස්ථානයේ සිට චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ද මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ මෙම පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් එක්විය.
මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ සලකා බලා ශ්‍රී ලංකා - චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන මහතා අභයගිරිය රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන මෙම උත්සව අවස්ථාවට සහභාගි වන ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ආරාධනා කරන ලදී.
මෙම පුණ්‍යෝත්සවය සඳහා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය එස්. ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි නායක හිමිපාණන්, රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලා කිහිපනමක් ද වැඩම කළහ. මෙම උත්සවයේ සංවිධාන කටයුතු ඓතිහාසික අභයගිරිය විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කල්ලන්චියේ රතනසිරි හිමිපාණන් විසින් සිදුකළේය.
දෙරට අතර පැවති ආගමික සහජීවනයේ ඉපැරණි බැඳීම් සැලකිල්ලට ගනිමිනි ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය, චීන බෞද්ධ සංගමය සහ අභයගිරිය විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය කල්ලන්චියේ රතනසිරි හිමිපාණන් එක්ව මෙම පූණ්‍ය කටයුත්ත සඳහා අභයගිරිය විහාරස්ථාන පරිශ්‍රය තෝරාගන්නා ලදී.
චීනයේ ෆා-ෂියාන් හිමිපාණන් 4 වන සියවසේ දී ඓතිහාසික අභයගිරිය විහාරස්ථානයේ වැඩවාසය කර බුදුදහම පිළිබඳ ඉගෙනගත් අතර ක්‍රිස්තු වර්ෂ 429 දී පමණ ධූත පිරිසක් විසින් ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රැගෙන චීනයට ගොස් චීනයේ භික්‍ෂූණී ශාසනය ස්ථාපිත කළ බව වාර්තා සනාථ කරයි. වත්මන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට පෙර ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවති බෞද්ධ සබඳතා දෙරට අතර ද්වීපාර්ශ්වික මිත්‍රත්වයේ ප්‍රබල සාධක රැසක් දැකිය හැකිය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සැමරීම සඳහා පසුගිය සෙනසුරාදා (26) දින පැවති පිරිත් සජ්ඣායනාව සඳහා බීජිං හි පිහිටි ලින්ග් ගුවාන් විහාරස්ථානයේ අතිපූජ්‍ය චං සාං හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් යුත් භික්‍ෂුන් වහන්සේලා සහ ගුවාන්ඩොන් හි ශූහායි ප්‍රදේශයේ පිහිටි පුටාවෝ විහාරස්ථානයේ අතිපූජ්‍ය මින්ග් ෂෙන් හිමිපාණන්ට මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සහභාගී වීම සඳහා චීනයේ බෞද්ධ සංගමය වෙතින් ඉඩ ප්‍රස්තාව සලස්වා තිබිණි.