22nd February 2022 07:44:32 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ අසමසම හැකියාවන් පිළිඹිබු කරමින් 2020-2021 වසර වලදී නිෂ්පාදනය කරන ලද වාහන, විදුලි උපකරණ, යාන්ත්‍රික උපකරණ සහ වෛද්‍ය උපකරණ ඇතුළු අද්විතීය නවෝත්පාදන පිළිබඳ ලේඛණ ගත කරන ලද ‘Skill to Battle’ කෘතියේ මංගල පිටපත යුද්ධ හමුදා පුහුණු අණසක ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් විසින් ඉකුත් සඳුදා (21) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගැන්නුවේය.
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ වසරක ප්‍රගතිය සම්බන්ධයෙන් ලේඛනගත කරන ලද ඡායාරූප සහිත මෙම කෘතියේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව දක්වනු ලබන අසමසම සහ ආකර්ෂණීය දායකත්වය මෙන්ම එහි ප්‍රතිඵලයන් සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
නිදහස් දින පෙළපාලියේ ගමන් ගත් මෑතකදී නිෂ්පාදනය කරන ලද බිම් බෝම්බවලට ඔරොත්තු දෙන නවීනතම ‘යුනිකොබ්’ රථය (Unicob) ඇතුළු නිෂ්පාදනය කරන ලද වාහන සඳහා වැයවු පිරිවැය, වාහනවල ඵලදායීතාවය, ගුණාත්මකභාවය සහ කල්පැවැත්ම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් විසින් මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කළේය.
යාන්ත්‍රික හා තාක්‍ෂණික දැනුමෙන් හා කුසලතාවයන්ගෙන් සන්නද්ධ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් සිය ශ්‍රමදායකත්වය සහ නිර්මාණත්මක හැකියාවන් උපයෝගි කරගනිමින් සිලින්ඩර් හයකින් යුත් ඩිසල් ‘යුනිකොබ්’ රථය යුද්ධ හමුදාවේ භාවිතයෙන් ඉවත්කරනු ලැබූ එන්ජින්, අමතර කොටස් සහ චැසි භාවිතා කරමින් නිෂ්පාදනය කරන ලදී.
සැහැල්ලු සන්නද්ධ රථ කාණ්ඩය යටතේ නිෂ්පාදනය කරනු ලැබූ මෙම යුනිකොබ්-එම්ආර්ඒපී (Unicob- MRAP) රථය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සිදුකරනු ලබන ක්‍රියාන්විතයන් තවදුරටත් කාර්යක්‍ෂම කිරීම සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම වාහනය නිෂ්පාදනය සඳහා රුපියල් මිලියන 10 වැය වු අතර එය එවැනි රථයක් ආනයනයට සාපේක්ෂව ඉතා අඩු වියදමකි.
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා මෑත කාලීනව යුනිබෆල් සන්නාහ සන්නද්ධ රථ නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විශාල දායකත්වය ලබාදී ඇති අතර රටට විදේශ විනිමය ඉතිරි කරමින් දැනටමත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා වාහන 65 කට වඩා වැඩි ප්‍රමාණයක් පිටත් කර ඇත. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මීට පෙර ද නිෂ්පාදනය කළාක් මෙන් සාම සාධක රාජකාරි සඳහා නව ‘යුනිකොබ්’ රථ වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මුලස්ථානයේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් දිපාල් හතුරුසිංහ ද සහභාගි විය.