Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2022 06:44:32 Hours

කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී ගුවන් මෙහෙයුම් පිළිබඳ ඓතිහාසික මතකයන් සිහිපත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ සෙබලුන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරෂුට් භටයින්ගේ ඓතිහාසික මතකයන් සිහිපත් කරමින් ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකල දිවයිනේ ප්‍රථම ගුවන් සංක්‍රමික කෞතූකාගාරය ඉකුත් සෙනසුරාදා (19) දින නව කමාන්ඩෝ භටයින් 157 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලියට සමගාමීව විවෘත කෙරිණි.

කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න ගේ ආරාධනයකට අනුව නව ගුවන් සංක්‍රමික කෞතුකාගාරය, ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු කඳවුරේදී වර්ෂ 1990 ජනවාරි මස 29 වන දින කමාන්ඩෝ රෙජිමේන්තු පැරෂුට් පුහුණු පාඨමාලා ආරම්භ කිරීමෙන් පසු දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි.

නව ගුවන් සංක්‍රමික කෞතුකාගාරය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ගුවන් සංක්‍රමික අභ්‍යාස සහ මෙහෙයුම් සඳහා මුල් අදියරේදී භාවිතා කරන ලද සියලුම උපකරණ ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර ඇත. සමරු ඵලකය නිරාවරණය කර කෞතුකාගාරය විවෘත කල යුද්ධ හමුදාධිපතිතුමන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සමඟ එම පරිශ්‍රය නිරික්‍ෂණය කළහ.

ඉන්දියාවේ අග්‍රා-පැරා පුහුණු පාසලෙන් පුහුණුව ලැබු නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසු නිලයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පැරෂුට් භටයින්ගේ පළමු කණ්ඩායම වර්ෂ 1979 දෙසැම්බර් මස 29 වන දින පුහුණුව අවසන් කළ අතර කමාන්ඩෝ රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් එස්.ඩී පීරිස් පළමු ශ්‍රී ලංකා පැරෂුට් භටයා ලෙස ඉතිහාසයට එක්විය.

වර්ෂ 1980 ඔක්‌තෝබර් මස 10 වන දිනට යෙදි තිබු යුද්ධ හමුදා දිනයට සමගාමීව කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය භටපිරිස්‌ වෙත පවරාදීමේ උත්සවයේදී ශ්‍රී ලංකාවේ පළමු පැරා සංදර්ශනය ඉදිරිපත් කරමින් පැමිණ සිටි පිරිස විශ්මයට පත් කළහ.

එසේම, ශ්‍රී ලංකාවේ පළමු ස්කයිඩයිවර්ස් ලෙස සැලකෙන මේජර් එන්.ජී චන්ද්‍රසේන, එක්සත් ජනපදයේ ස්කයිඩයිවර්ස් පාඨමාලාව හැදෑරීමෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් පුහුණු කිරීම ආරම්භ කළේය.

කෙසේ වෙතත්, ගණේමුල්ලේ පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී සිය පැරෂුට් පුහුණු කටයුතු වර්ෂ 1990 ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර ඉන් අනතුරුව ඉතිහාසයේ ප්‍රථම වතාවට යුද්ධ හමුදාවේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බළකායන්ට ගුවන් සංක්‍රමික පුහුණු කටයුතු සඳහා ඇතුළත්වීමේ ප්‍රවේශය හිමි විය. යුද්ධ හමුදාව විසින් ලබාදුන් පුහුණුව මත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු පැරෂුට් භටයා ලෙස බලඝණ නායක බී.එන්. රත්නකුමාර ඉතිහාසයට එක් විය.

එසේම, යුද්ධ හමුදාව විසින් ලබාදුන් පුහුණුව මත වර්ෂ 1992 සැප්තැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු පැරෂුට් භටයා ලෙස ලුතිනන් යු.අයි. සේරසිංහ ඉතිහාසයට එක්විය. 1992 වසරේ දී පැවති 44 වන ජාතික නිදහස් දින උත්සවයේදී මේජර් සමන්ත සුරියබණ්ඩාර ගේ නායකත්වය යටතේ පැරෂුට් සංදර්ශනයක් සමගින් ශ්‍රී ලංකාවේ පළමු ස්කයිඩයිවර්ස් සංදර්ශනය විශ්මය ජනක ලෙස ප්‍රදර්ශනය කෙරිණි. ගුවන් අභ්‍යාසවල විෂය පථය රට තුළ වර්ධනය වෙමින් පවතින හෙයින්, ශ්‍රී ලංකාවේ මංගල ස්කයිඩයිවර්ස් පුහුණුව වර්ෂ 1997 දී ආරම්භ විය. පැරෂුට් පුහුණු කටයුතු පුළුල් කරමින්, ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ ඇති ඉඩ පහසුකම් සැලකිල්ලට ගෙන එම කටයුතු ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලෙහි ස්ථානගත කරන ලදී.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව Skydiving, Jumpmasters, Rigger, Canopy, Target Landing සහ Base jump පුහුණු කටයුතු පැවැත්වීම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ ගුවන් සංක්‍රමික පුහුණු අංශය වර්තමානය වනවිට සෑම ක්ෂේත්‍රයකින්ම සන්නද්ධ වී ඇත.

විසිරයාමේ පෙළපාලිය අවසානයේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව, අභිනවයෙන් ඉදිකල ගෘහස්ථ ක්‍රීඩාංගණ සංකීර්ණය සහ එම සංකීර්ණයේ පිහිටි නවීන මාදිලියේ උපකරණ සහිත ව්‍යායාම් ශාලාව විවෘත කල යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. එවකට 54 වන සේනාංකයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස කටයුතු කරමින් සිටියදි ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව අලිමංකඩ දි දිවිපිදු මේජර් ජෙනරල් පී.පී. ප්‍රනාන්දු නිලධාරිතුමන්ට උපහාරයක් ලෙස මෙම ගෘහස්ථ ක්‍රීඩාංගණය දිවංගත ‘මේජර් ජෙනරාල් පී.පී. ප්‍රනාන්දු අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාංගණය’ ලෙස නම් කරන ලදී.

එසේම, ‘ජයසිකුරු’ මෙහෙයුමේදී සිය ජීවිතය පරිත්‍යාග කල කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රථම පරම වීර විභාෂණ (PWV) පදක්කම්ලාභියා වන දිවංගත මේජර් ජි.එස්. ජයනාත් නිලධාරිතුමන් සිහිපත් කරමින් නවීන මාදිලියේ උපකරණ සහිත ව්‍යායාම් ශාලාව ඉදිකරන ලදී.