Header

Sri Lanka Army

Defender of the Nation

17th February 2022 06:23:45 Hours

අභිනවයෙන් ඉදිකරන ලද ‘ආදිවාසි ජන උරුම මහා සෑය’ බැතිමතුන්ට වන්දනා මාන කිරීම සඳහා ජනසතු කරයි

දඹාන ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ විසින් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සහ අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද කූරගල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරත්න හිමිපාණන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ගුරුකුඹුර ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද ‘ශාක්‍ය පුත්‍ර සීවලී මහා සෑය’ හෙවත් ‘ආදීවාසී ජන උරුම මහා සෑය’ බදාදා (16) දිනට යෙදුණු නවම් පුර පසළොස්වක පොහොය දින පැවති ආගමික උත්සවයකදී ජනසතු කරන ලදී.

පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ සහ පරිත්‍යාගශීලින් වන දිස්නා වනිගසේකර මහත්මිය සහ කොළඹ මාස්ටර් ගයිඩ් ප්‍රකාශන පුද්ගලික ආයතනයේ හිමිකරු චන්ද්‍රසේන වික්‍රමරත්න මහතාගේ ආරාධනයකට අනුව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතනාභිදාන නාහිමිපාණන් සමගින් මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මල් පීත්ත පටිය කපා සමරු ඵලකය නිරාවරණය කර නව චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේගේ කොත් වහන්සේ සුභ මොහොතින් නිරාවරණය කරන ලදී.

හෙලිකොප්ටර් යානයකින් නව චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ මතට මල්පෙති හෙළමින්, මහා නායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ඇතුළු මෙම අවස්ථාවට එක්ව සිටි සැදැහැවත් බැතිමතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ සුබ මොහොතින් නව චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ නිරාවරණය කෙරිණි.

ඉන් අනතුරුව, මහා සංඝරත්නය සමඟින් නව චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේට පළමුව මල් පහන් පූජා කිරීමට යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද එක්විය. පසුව පැවති මහා සංඝරත්නයේ අනුශාසනා අවසානයේ මහා සංඝරත්නය වෙත දානය සහ පිරිකර පූජා කිරීමට ද යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්විය. ශ්‍රී ලංකාවේ ආදිවාසී ප්‍රජාවගේ අතීතය සහ වර්තමානය උපුටා දක්වමින් ඔවුන්ගේ පරිණාමය පිළිබඳ දැරියක් විසින් රචනා කළ කෘතියේ පිටපතක් නව චෛත්‍යය නිරාවරණය කිරීමට සමගාමීව එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වු ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කළාය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට එක්ව සිටි ආදීවාසී ප්‍රජාව ඇතුළු බැතුමතුන් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

නව චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිවුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන්, මහියංගන රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මදස්සි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩමවා වදාළහ.

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් ඉදිකිරීම් කටයුතු අවසන් වුවද චෛත්‍ය රාජ්‍යාණන් වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය මාස කිහිපයකට පෙරාතුව දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුවිය.