Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2022 18:17:24 Hours

යුද්ධ හමුදා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 7 වන අදියර යටතේ තවත් නිවාසලාභින් 48 දෙනෙකු වෙත මූල්‍ය ආධාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 7 වන අදියර යටතේ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන්, විශ්‍රාමික හා සේවයේ නියුතු යුද්ධ හමුදා රණවිරුවන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ සහ අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවාසවල ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමීමේ උත්සවයක් අද (14) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී, ප්‍රතිලාභින් 48 දෙනෙකු වෙත සිය නිවාස අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනමනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම වෙනුවෙන් පුද්ගලිකව සිය අවධානය යොමුකරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහ නිවාසලාභින් ද මෙම උත්සවය සඳහා සහභාගී වූහ. එහිදී, නව නිවාස 11 ක් සහ අර්ධ වශයෙන් ඉදිකරනු ලැබූ නිවාස 37 ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදනයන් පරිත්‍යාග කරන ලදී.

ඒ අතරින් නිවාස 9 ක් මානුෂිය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පරිත්‍යාග කළ අතර තවත් නිවාස 12 ක් රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත පිරිනැමූහ. තවත් නිවාස 03 ක් විශ්‍රාමික රණවිරුවන්ට සහ නිවාස 24 ක් සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ප්‍රදානය කළහ.

රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ නිවාසලාභි රණවිරුවන්ගේ රෙජිමේන්තු ඒකාබද්ධව ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය යටතේ නව නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 1.5 ක් සහ අර්ධ වශයෙන් ඉදිකළ නිවාසවල ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් 750,000.00 ක් ප්‍රදානය කරන ලදී.

මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස අවශ්‍යතා සහිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ නිවාස සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ ‘රණවිරු නිවාස’ අරමුදල සඳහා නිලධාරින් රුපියල් 50 ක් සහ සෙසුනිලයන් රුපියල් 10 ක් බැගින් සෑම මසකම සිය වැටුපෙන් පරිත්‍යාග කරනු ලබයි. එක් නිවසක් සම්පූර්ණයෙන් ඉදිකිරීම සඳහා එක් එක් රෙජිමේන්තුවලින් රුපියල් ලක්‍ෂ 3 ක මුදලක් පරිත්‍යාග කරනු ලබයි.

මෙම උත්සවයේදී, නිවාසලාභීන් වෙත මූල්‍ය ආධාර පරිත්‍යාග කිරීම සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ එක්විය.

මෙම උත්සව අවස්ථාවේදී, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරෝන් ඒකනායක විසින් මෙම ව්‍යාපෘතිය පිලිබඳ දළ විශ්ලේශණයක් ඉදිරිපත් කළ අතර පසුගිය අදියරයන් 6 යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත සාර්ථකව සම්පූර්ණ කළ ආකාරයත්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය මේ වනවිට තවත් ඵලදායී අයුරින් සිදුවන ආකාරයත් පැහැදිලි කළේය. ඉන් අනතුරුව, වීඩියෝ ඉදිරිපත් කිරීමක් තුලින් ඒ පිළිබඳ තවදුරටත් සාරාංශගත කරමින් පැහැදිලි කිරීමක් සිදුකරන ලදී.

මෙම නිවාස ව්‍යාපෘතියේ අදියරයන් 7 යටතේ නව නිවාස 244 ක් සහ අර්ධ නිවාස 24 ක් සඳහා මුල්‍ය ආධාර පරිත්‍යාග කර ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.