13th February 2022 17:51:58 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිය සඳහා වෙන්කරනු ලබන අරමුදල් හා ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ අරමුදලින් ඉබ්බාගමුව, පාන්ගොල්ල ‘රණවිරු ගම’ ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ තවත් නව නිවසක් අද (13) දින පාදයක් අහිමි රණවිරුවෙක් වෙත ප්‍රදානය කරන ලදි.
මෙම නව නිවස නිවාසලාභියා වෙත පවරාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූ අතර එතුමන්ගේ සුරතින් රුපියල් මිලියන 1.5 ක වටිනාකමකින් යුත් නව නිවස නිවාසලාභියා වෙත පවරාදෙන ලදී.
ගැහැණු ළමුන් දෙදෙනෙකුගේ සහ පිරිමි දරුවෙකුගේ පියෙකු වන මෙම නිවාසලාභියා වර්ෂ 1990 දී ත්‍රීකුණාමලය ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට හසු වී සිය පාදය දණහිසට ඉහළින් ඉවත් කිරීමට සිදුවිය.
රණක්‍ෂිතයට පත් මෙම රණවිරුවා වෛද්‍ය හේතුන් මත සිය සේවයෙන් විශ්‍රාම ලැබු අතර සිය නිවාස අවශ්‍යතාවය පිළිබඳ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානය දැනුවත් වීමෙන් අනතුරුව එම රෙජිමේන්තුව වෙතින් මෙම නව නිවස ඉදිකිරීම සඳහා අවැසි ඉදිරි කටයුතු සිදුකරන ලදී.
ඒ අනුව, ගජබා රෙජිමේන්තුවේ අරමුදල් යොදාගනිමින් 7 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හී තාක්‍ෂණික දැනුම සහ ඉංජිනේරු කුසලතාවයන් භාවිතා කරමින් මෙම නව නිවස ඉදිකරන ලදී.
මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් නිවාසලාභියා සහ සිය පවුලේ සාමාජිකයින් විසින් එම පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත බුලත් අතක් දී පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පීත්ත පටිය කපා නව නිවස විවෘත කරන ලදි.
ඉන් අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිවාසලාභීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව නිවාසලාභීන් වෙත රූපවාහිනී යන්ත්‍රයක් ප්‍රදානය කරන ලදී.
මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ශිරන්ත මිල්ලගහ සහ 7 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා 143 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ෆවුමි කිචිලාන්, ව්‍යාපෘති භාර නිලධාරි ලුතිතන් කර්නල් බෙනට් ෆොන්සේකා සහ 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.