Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2022 06:24:25 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සෙසුනිලයන්ගේ ආහාරවල ගුණාත්මකභාවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

යුද්ධ හමුදා සොල්දාදුවන් වෙත උසස් තත්ත්වයේ සහ පෝෂ්‍යදායි ආහාර ලබාදීම සහතික කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සෙනසුරාදා (12) දින උදෑසන වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙමින් එම රෙජිමේන්තුවේ සෙසුනිල භෝජනාගාරය නිරීක්‍ෂණය කරන ලදී. එහිදී, ආහාර වර්ග පිළියෙල කිරීම, එම ව්‍යාංජනවල ගුණාත්මකභාවය, ප්‍රමිතිය සහ රස වැනි කරුණු පිළිබඳව ද එතුමන්ගේ අවධානය යොමුවිය.

එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම මුළුතැන්ගෙයි පරිශ්‍රයේ ආහාර පිළියෙල කිරීම සඳහා සූදානම් කර තිබූ එළවලු, කුළුබඩු සහ අනෙකුත් අමුද්‍රව්‍ය නිරීක්‍ෂණය කළ අතර පිසූ ව්‍යංජන කිහිපයක ගුණාත්මකභාවය, ප්‍රමිතිය සහ රසය පිළිබඳ සොයාබලන ලදී. ඉන් අනතුරුව, සූපවේදීන් සහ මුළුතැන්ගෙයි පරිශ්‍රයේ සේවයේ නියුතු අනෙකුත් කාර්ය මණ්ඩලය සමඟ අදහස් බෙදාගත්තේය.

වියළි සලාක ගබඩාකර ඇති කාමරයට යාමට පෙර ඔහු කුළුබඩු වර්ග, ඉවුම් පිහුම් උපකරණ සහ ආහාර පිළියෙල කරන ස්ථානයන්හී සනීපාරක්‍ෂක ප්‍රමිතීන් පිළිබඳව ද උනන්දුවෙන් සොයා බැලුවේය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තු පරිශ්‍රයේ භෝජනාගාරවල පහසුකම් පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව කොනොනි සමාජ ශාලාවේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

ජාතියේ යහපත වෙනුවෙන් පැය විසිහතර පුරා සේවයේ යෙදී සිටින සියලුම යුද්ධ හමුදා සොල්දාදුවන්ට හොඳම සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් භාවිතා කර පිළියෙල කරන ලද ගුණාත්මක ආහාර වේලක් ලබාදිය යුතු බවට යුද්ධ හමුදාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකළ මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්වූහ.