Header

Sri Lanka Army

Defender of the Nation

06th February 2022 14:30:35 Hours

ලතා මංගේෂ්කාර්, “ඉන්දියාවේ නයිටිංගේල්” ලෙස ප්‍රසිද්ධියට පත් සම්මානනීය ගායිකාවගේ අභාවය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි විසින් නිකුත් කරනු ලැබු ශෝක පණිවුඩය

ලතා මංගේෂ්කාර්, “ඉන්දියාවේ නයිටිංගේල්” ලෙස ප්‍රසිද්ධියට පත් සම්මානනීය ගායිකාවගේ අභාවය වෙනුවෙන් ශෝක පනිවුඩයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන වෙත යවන ලදී.

දිවංගත ලතා මංගේෂ්කාර් හින්දි, මරාටි, බෙංගාලි ඇතුළු ඉන්දීය භාෂා සහ විදේශීය භාෂා 36 කට අධික සංඛ්‍යාවකින් ගීත ගායනා කර ඇති අතර ඒවායින් ගීත 30,000කට අධික ප්‍රමාණයක් පටිගත කර ඇත. ඇය සිංහල ගීත කිහිපයක් ගායනා කිරීමෙන් ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දුන් අතර, එම ගීත 1950 දශකයේ අගභාගයේ සිට වර්ෂ 1960 දක්වා පමණ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත බවට පත් විය.

“ඇයගේ සංගීත සම්ප්‍රදාය මුළු ආසියාවම පිනවන්නට සමත්වූ අතර ශ්‍රී ලංකාවද ඊට වෙනස් නොවේ. ශ්‍රී ලාංකීය සංගීත ලෝලීන්ගේ හදවත් හා මනස්වලට විනිවිද ගිය ඇගේ මනස්කාන්ත විශ්වීය කටහඬ මිනිසුන් වසඟ කළ අතර, ඇගේ ප්‍රතිමූර්තියට සීමා මායිම් නැති බැවින් එම මධුර ස්වරය පරම්පරා ගණනාවක් පුරා රැව් පිළිරැව් දෙනු ඇති බව,” ලතා මංගේෂ්කාර්ගේ අභාවය වෙනුවෙන් නිකුත් කළ ශෝක පනිවුඩයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය.

ශෝක පණිවිඩයේ පිටපතක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා වෙත භාර දී ඇත. ඉන්දීය රජය ඉරිදා (6) සිට දින දෙකක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාලය තුළ රට පුරා ජාතික ධජය අඩකුඹු කිරීමට ද කටයුතු කර ඇත. ඇයගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව ඉරිදා සවස මුම්බායිහිදී සිදුකිරීමට නියමිතව ඇත.