01st February 2022 21:09:58 Hours
74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් 2022 පෙබරවාරි මස 4 දින පැවැත්වීමට නියමිත නිදහස් දින පෙළපාලියේ පෙරහුරු පෙළපාලිය (01) දින උදෑසන කොළඹ 7 නිදහස් චතුරස්‍රයේදී පැවති අතර, එම පෙරහුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික) සහ ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී ජයසුන්දර (විශ්‍රාමික) යන ඉහළ පෙළ ආරක්‍ෂක නිලධාරින්ගේ අධීක්‍ෂණයට ලක්විය.
එහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අනෙකුත් හමුදාධිපතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ පෙළපාලිය නිරීක්‍ෂණය කළ අතර, පෙළපාලියේ අංගයන්, පීඨිකාව, පෙළපාලිය ගමන් කරනු ලබන ස්ථානයන්, පෙළපාළියේ මංතීරුව හා වේලාවන් පිළිබඳ නිරීක්‍ෂණය කළ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පෙළපාලිය පැවැත්වීම සහ ආසන සූදානම් කිරීම ආදී කරුණු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.
තවද, ජෛව බුබුළු ක්‍රමවේදය ඔස්සේ භටපිරිස් හැසිරවීම සහ දුරස්ථභාවය පවත්වාගනිමින් පෙළපාලිය සඳහා භටපිරිස් යෙදවීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ගනු ලැබීය. එමෙන්ම, එක් එක් අවස්ථාවන්හිදී සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ යෝජනාවන් ඉදිරිපත් කරමින් නිදහස් පෙළපාලිය සංවිධානය කරනු ලබන සියලුම පාර්ශවකරුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට ද කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දින සැමරුම අතිගරු ජනාධිපති, ගරු අග්‍රාමාත්‍ය, උපදේශකවරුන්, ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, පොලිස්පති මෙන්ම සීමිත පාසල් සිසුන් සංඛ්‍යාවක් හා ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් එළඹෙන සිකුරාදා (04) දින නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව ඇත.
‘අභියෝග ජයගත් අසිරිමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්’ තේමාව පෙරටු කරගනිමින් පැවැත්වෙන 74 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් සහ ජාතික ශිෂ්‍යභට බලකායේ සාමාජිකයින් 6500 දෙනෙකුගේ සහභාගිත්වයෙන් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම, මෙවර නිදහස් දින පෙළපාලියට විවිධත්වයක් එක්කරමින් පාසල් සිසුන් 45 දෙනෙක් සහ සංස්කෘතික කලාකරුවන් 431 දෙනෙකු ද නිදහස් පෙළපාලිය සඳහා සිය දායකත්වය සපයති.