30th January 2022 17:13:16 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරිනියන් සහ කාන්තා සෙබලියන්ගේ සහභාගීත්වයෙන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වන ලෙබනන් සාමසාධක මෙහෙයුම් කණ්ඩායමේ විසිරයෑමේ පෙළපාලිය ඉරිදා (30) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති අතර එහිදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත හමුදා ගෞරවාචාර පිරිනැමූහ.
ලෙබනනයේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ බලකා ආරක්‍ෂක කණ්ඩය (Lebanon-bound Sri Lanka’s Force Protection Unit) සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය යන රෙජිමේන්තු නියෝජනය කරමින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ඇතුලු නිලධාරින් 10 දෙනෙක් සහ සෙසු නිලයන් 115 දෙනෙකුගෙන් සමන්විත වේ.
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ බලධාරින්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය අතර පැවති සාකච්ඡාවක ප්‍රතිපලයක් වශයෙන් මෙවර ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) කණ්ඩායම සඳහා ප්‍රථම වරට කාන්තා නිලධාරිනියන් දෙදෙනෙක් සහ කාන්තා සෙබලියන් 7 දෙනෙකු සහභාගී වනු ඇත.
මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමියේදී එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.
පසුව, එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ මෙහෙයුම් සඳහා සහභාගී වන කණ්ඩායමේ සූදානම සහ ආරක්‍ෂක වගකීම් භාරගැනීමට ඇති සූදානම පෙන්නුම් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව එම කණ්ඩායම වෙත ජාතික ධජය, යුද්ධ හමුදා ධජය, එක්සත් ජාතීන්ගේ ධජය සහ ශ්‍රී ලංකා පාබල හමුදා ධජය භාරදුන්නේය.
විසිරයන කණ්ඩය වෙත සුබපැතුම් එක්කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ගේ විදෙස් රාජකාරිවල වටිනාකම මෙන්ම ඒ තුලින් රටට හිමිවන අභිමානය සහ ගෞරවය පිළිබඳ පැහැදිලි කළේය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික හමුදා සෙබලුන්ගේ දැනුම, දක්‍ෂතාවයන්, විනය හා කැපවීම එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් ප්‍රධානින්ගේ නිරන්තර ඇගයීමට ලක්වී ඇති බැවින් ඉහල මට්ටමේ විනය පවත්වාගැනීමේ වැදගත්මක සහ ලෙබනනයේදී තමන් සතු කාර්යභාරය සඳහා තමන්ගේ උපරිම කැපවීමෙන් කටයුතු කළයුතු බව ද එතුමන් පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “වර්ෂ 1881 දී ආරම්භ වුණු ශ්‍රී ලංකා පාබල හමුදාව වර්ෂ 1900 දී දකුණු අප්‍රිකාවේ පැවති බෝර් ලෝක යුද්ධ සමයේ සිට විදෙස් මෙහෙයුම් සඳහා සිය දායකත්වය සපයා අත්දැකීම් ලද රෙජිමේන්තුවක් වේ. එමෙන්ම, වර්ෂ 2004 දී එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින් සඳහා හයිටි රාජ්‍යයට ප්‍රථම වරට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ප්‍රථම කණ්ඩායම ද ඔබ රෙජිමේන්තුවට අයත් වේ. වර්ෂ 2010 දී ලෙබනන් රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් යොමුකළේ ද මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වශයෙන් රාජකාරි සිදුකරනු ලැබූ සමයේදී බව සඳහන් කළයුතු වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා වශයෙන් කටයුතු කරන සමයේදී එවැනි විදෙස් මෙහෙයුම් ශ්‍රී ලංකාව වෙත හිමිකරදීමට හැකියාව ලැබීම පිළිබඳ මා සතුටු වෙමි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමසාධක භටපිරිස්හී සංයුතිය තවදුරටත් වර්ධනය කරමින් ප්‍රථම වරට පාබල සෙබලුන් සමඟ සාමසාධක රාජකාරින් සඳහා එක්වීමට කාන්තා නිලධාරිනියන් සහ සෙබලියන් වෙත අවස්ථාව හිමි වී තිබේ. කොවිඩ් - 19 වෛරසය පැවතියද ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කණ්ඩායම සූදානම් කිරීම වෙනුවෙන් කැප වූ සියලුදෙනා වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙමි. එබැවින්, ඔබ සෑම අවස්ථාවකදීම අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස මාතෘභූමියේත්, අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේත් කීර්තිය දිනෙන් දින වර්ධනය වන අයුරින් ඉතාමත් දැඩි විනයකින් යුතුව කටයුතු කර සෑම පාර්ශවයකම ප්‍රශංසාවට ලක්වනු ඇතැයි මා අපේක්‍ෂා කරමි” යනුවෙන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදී.
දැනට එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී ඉටුකරන 12 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සිය සේවා කාලය සම්පූර්ණ කර නැවත දිවයිනට පැමිණිමට නියමිතව ඇත. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමූහ ඡායාරූපයකට සහභාගී වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, අධ්‍යක්‍ෂවරුන්, ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ තවත් ආරාධිතයින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
2010 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ ඉල්ලීම පරිදි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින් සඳහා කණ්ඩායම් 11 ක් යොමුකර ඇත. 1978 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම මෙහෙයුම සඳහා 2010 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන කණ්ඩායම සාමසාධක රාජකාරින් සඳහා ලෙබනනය වෙත පිටත්කර යවන ලදී.