27th January 2022 10:15:59 Hours
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව මහානායක සහ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ දිවයිනේ නන් දෙසින් වැඩමවා වදාල දහසකට අධික මහා සංඝරත්නය බදාදා (26) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ‘ජය පිරිත්’ සඡ්ඣායනා කර සියලු රට වැසියන්ටත් රටේ සමෘද්ධිය සහ යහපැවැත්ම උදෙසාත් ආශිර්වාද එක් කළහ.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි වු අතර ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය සහ නාවික හා ගුවන් හමුදා සේවා වනිතා ඒකක සභාපතිනියන් ද එක්ව සිටියහ.
ඉපැරණි සම්ප්‍රදායන්ට අනුකූලව වර්ණවත් පෙරහැරකින් සර්වඥ ධාතු කරඬුව පිරිත් මණ්ඩපය වෙත වැඩම කළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් දැහැත්වට්ටියක් පූජා කර පිරිත් සජ්ඣායනා කිරීම සඳහා මහා සංඝරත්නය වෙත ආරාධනා කළහ. මීට සමගාමීව ඓතිහාසික පිරිත් සඡ්ඣායනාව ඇතුලත් පිරිවාන පොත් වහන්සේ ද අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් රැගෙන විත් පිරිත් මණ්ඩපයේ තැන්පත් කෙරිණි.
පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන්, පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිපාණන් සහ පූජ්‍ය ආචාර්ය නියන්ගොඩ විජිතසිරි අනුනායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් විශේෂ අනුශාසනාවක් සිදුකරමින් මෙම විශේෂ පිරිත් සඡ්ඣායනාවේ වැදගත්කම පැහැදිලි කළහ.
කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව මානුෂීය මෙහෙයුම් දියත් කළ වත්මන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ පාලන සමයේ ආරක්‍ෂක ලේකම් ධුරය හෙබවු වත්මන් ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව මෙම වාර්ෂික පිරිත් සඡ්ඣායනාව 2008 වසරේදී ආරම්භ කෙරිණි.
රටටත්, ත්‍රිවිධ හමුදාවටත් ජාතියට එල්ල වී ඇති සියලු අභියෝග සහ පසුබෑම් දුරුකරමින් රටේ ඉදිරි ගමනටත් ආශිර්වාද එක් කිරීමේ අරමුණින් පැවති මෙම පිරිත් සඡ්ඣායනාව පවතින සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ පිළිපදිමින් රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ තවත් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
ආරක්‍ෂක අමාත්‍යාංශය යුද, නාවික හා ගුවන් හමුදා සමඟ සම්බන්ධීකරණයෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම පිරිත් සජ්ඣායනාව අවසානයේ බ්‍රහස්පතින්දා (27) දින උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා ‘හීල් දානය’ පූජා කරන ලදී.