Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2022 15:20:54 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරුමැද මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා බ්‍රහස්පතින්දා (06) දින සිය පවුලේ සාමාජිකයින් සමගින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා විවිධ තනතුරු හොබවමින් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා සිදුකළ අප්‍රතිහත කාර්යභාරය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම සුහද හමුවේදී පැසසුමට ලක්කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

කීර්තිමත් යුද්ධ හමුදා සේවයට සමුදී නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුභපැතුම් එක්කළ යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින් සමඟින් ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

මෙම සුහද හමුවට එක්වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ගේ දරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලුවේය.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුභපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය. මෙම සුහද හමුවේ සමාප්තිය සනිටුහන් කරමින්, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත සිල්වා ගේ සේවය ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තවත් තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.