Header

Sri Lanka Army

Defender of the Nation

02nd January 2022 22:48:24 Hours

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමයෙන් අතිගරු ජනාධිපතිතුමන් පිදුම් ලබයි

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උත්තරීතර සංඝ සභාව විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමය ප්‍රදානය කිරීමේ උත්සවය ඉරිදා (2) දින පස්වරුවේ ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී පෞරාණික චාරිත්‍රානුකූලව පැවැත්විණි.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අතිගරු ජනාධිපතිතුමන් වෙත මෙම ගෞරව නාමය ප්‍රදානය කිරීමේ උත්සවයට අනුනායක හිමිපාණන් ප්‍රමුඛ මහාසංඝරත්නය, ජනාධිපති ආර්යාව, ගරු අග්‍රාමාත්‍යතුමන්, කථානායකතුමන්, මැති ඇමතිවරුන්, ජනාධිපති ප්‍රධාන උපදේශක, ආණ්ඩුකාරවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් සහභාගි වූහ.

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ ඓතිහාසික උපෝෂිතාගාරය වෙත පැමිණ අතිගරු ජනාධිපතිතුමන් ප්‍රථමයෙන් මල් පහන් පූජා කර බුද්ධ වන්දනාව සිදුකිරීමෙන් අනතුරුව මහානායක හිමිපාණන් වෙත නමස්කාර කොට ආශිර්වාද ලබාගත්හ. නව වසර උදාවත් සමඟ අතිගරු ජනාධිපතිතුමන් වෙත මෙම ගෞරව නාමය පිරිනැමීමට හේතුවු සාධක පිළිබඳ එහිදි සංඝ සභාව විසින් පෙන්වාදුන්හ.

ඉන් අනතුරුව, කෝට්ටේ උත්තරීතර සංඝ සභාව විසින් ඒකමතිකව තීරණය කළ පරිදි මෙම ගෞරව නාමය ප්‍රදානය කිරීම සඳහා වූ උද්ධෘත පාඨය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමා වෙත සන්නස් පත්‍රය නිල වශයෙන් භාරදුන්හ.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කිර්තීමත් ‘ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ’ ගෞරව නාමයෙන් පිදුම් ලැබු අතිගරු ජනාධිපතිතුමන් එහිදි සියලුදෙනා ආමන්ත්‍රණය කරමින් උත්තරීතර සංඝ සභාව ගත් තීරණය කෘතවේදීව පිළිගන්නා බවත් මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි ‘බුද්ධ ශාසනය’ ආරක්‍ෂා කිරීම උදෙසා සැමදා මුලිකත්වය ගෙන කටයුතු කරන බවත් පවැසීය.