Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 14:10:23 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකායේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 21 වන කර්නල් සේනාවිධායක වන මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (21) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් ද සහභාගී වූහ.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, එතුමන් රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරන ලදී.

පසුව, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරනු ලැබූ නව සුභසාධන වෙළඳසැල විවෘත කළ මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයකට ද එක්වූවේය. ඉන් අනතුරුව, එම රෙජිමේන්තු පරිශ්‍රයේ පිහිටි ක්‍රිකට් ක්‍රිඩාංගණයේ නව නාම පුවරුව ද එතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි.

එම රෙජිමේන්තුවේ නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට එක්වූ යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සෙසුනිල භෝජනාගාරයේදී සූදානම් කර තිබූ දිවා භෝජන සංග්‍රහයකට ද එක්විය.

මෙම උත්සවයට තවත් වැදගත්කමක් එක් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ ආරාධනයකට අනුව ජෙනරල් සී.එස් වීරසූරිය (විශ්‍රාමික) විසින් එම රෙජිමේන්තුවේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අභිනවයෙන් ඉදිකරන ලද ක්‍රීඩාගාරය ද විවෘත කරන ලදී.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සීමිත නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් එදින සන්ධ්‍යාවේ නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවති අතර එහිදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. මීට අමතරව, මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ ද රාජකාරි හොබවන ලදී.