Header

Sri Lanka Army

Defender of the Nation

27th December 2021 11:43:16 Hours

663 වන බලසේනාවේ මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන් 200 කට පාසල් උපකරණ

යුද්ධ හමුදාවේ ඉල්ලීමකට අනුව හැටන් නැෂනල් බැංකුව ලබාදුන් අනුග්‍රාහකත්වය මත කිලිනොච්චි වෙරාවිල් විද්‍යාලයේ සහ වලෙයිපාඩු රෝමානු කතෝලික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් සිසු සිසුවියන් 200 දෙනෙකු වෙත රුපියල් ලක්‍ෂ 4 ක පමණ වටිනාකමකින් යුත් පාසල් පොත් ඇතුළු පාසල් උපකරණ බෙදාදුන්හ.

මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ලබාදුන් උපදෙස් මත එම සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 663 වන බලසේනාව විසින් ක්‍රියාත්මක කරන ලදී.

66 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය සෙනසුරාදා (18) දින පැවැති උත්සවයකදී ප්‍රදේශයේ තෝරාගත් සිසුන් වෙත මෙලෙස පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි. මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහකභවතුන්, හැටන් නැෂනල් බැංකුවේ සාමාන්‍යාධිකාරී දමිත් පල්ලෙවත්ත මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගී වූහ.

එම අවස්ථාවේදී වලෙයිපාඩු රෝමානු කතෝලික විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පානීය ජල පහසුකම් ලබාදීමේ හැකියාව පිළිබඳව විමසා බැලූ අනුග්‍රාහකභවතුන් එම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 2 ක් ලබාදීමට ද එහිදි එකඟතාවය පළ කළහ.

මෙම අවස්ථාවට 663 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එච්.එන්.පී. හැන්නදිගේ, 66 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරි, 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සහ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරින්, කිලිනොච්චි වෙරාවිල් විද්‍යාලයේ සහ වලෙයිපාඩු රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමාපියන් පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සහභාගී වූහ.