27th December 2021 12:30:49 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 22 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සංජය වනසිංහ ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින රාජකාරි කටයුතු භාරගත්තේය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් හමුදාධිපතිවරයෙකු වු එතුමන්ගේ පියාණන් වන ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානයේ ආඥාපති මෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු ද වේ. එසේම, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ප්‍රථම කර්නල් සේනාවිධායකවරයා ලෙස ද ජෙනරල් හැමිල්ටන් වනසිංහ (විශ්‍රාමික) මීට වසර ගණනාවකට පෙර කටයුතු කළේය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නව කර්නල් සේනාවිධායක රාජකාරි භාරගැනීම නිමිත්තෙන් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් නව කර්නල් සේනාවිධායකතුමන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරන ලදී.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.
සිය කාර්යාලය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, අණදෙන නිලධාරින්, නිලධාරින් ඇතුළු අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයින් සහභාගී වූහ.
මෙම අවස්ථාවට තවත් සුවිශේෂීත්වයක් එක් කරමින් මේජර් ජෙනරල් සංජය වනසිංහ සමූහ ඡායාරූපයකට එක්වීමෙන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයකට ද එතුමන් එක්වූවේය.
නව කර්නල් සේනාවිධායකගේ රාජකාරි භාරගැනීමට සමගාමීව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී භික්‍ෂූන් වහන්සේලා විශයෙහිලා සංඝගත දක්‍ෂිණාවක් ද පූජා කෙරිණි. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් නිලධාරි නිවස්නයේදී දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම උත්සවය පැවැත්විණි.
මීට අමතරව, මේජර් ජෙනරල් සංජය වනසිංහ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ධූරය ද හොබවනු ලබයි.