24th December 2021 19:20:45 Hours
එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ බෝර් හි ක්‍රියාත්මක ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරී නිරතව සිටි 7 වන ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම වසරකට අධික කාලයක් සිදුකල සිය රාජකාරි කටයුතු අවසන් කර නැවත දිවයිනට පැමිණීමට ප්‍රථම එම කණ්ඩායමේ අණදෙන නිලධාරි වෙත පසුගිය සිකුරාදා (17) දින හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමූහ.
එම වෛද්‍ය කණ්ඩායම වසරක කාලයක් සිදුකල සිය රාජකාරි තුල බාහිර රෝගී අංශයේ රෝගීන් 1395 දෙනෙක්, නේවාසික රෝගීන් 171 දෙනෙක් සහ දන්ත වෛද්‍ය අංශයේ රෝගීන් 314 දෙනෙකු සඳහා ප්‍රතිකාර සිදුකරනු ලැබූහ. ඊට අමතරව, සැත්කම් 48 ක් සහ තවත් වෛද්‍ය ප්‍රතිකාර 22 ක් ද එම වෛද්‍ය කණ්ඩායම විසින් සිදුකරන ලදී.
එහිදී, ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ඩි.ආර්.එස්.ඒ. ජයමාන්න වෙත එම වෛද්‍ය කණ්ඩායමේ ගෞරවාචාරය පිරිනැමූහ. මෙම පෙළපාලියේ අණදීම මේජර් ඩබ්ලිව්.ජී.එල්. ජයරත්න විසින් සිදුකරනු ලැබූ අතර පෙළපාලියේ දෙවන අණදෙන්නා ලෙස මේජර් කේ.එම්.එස්.ටී. කුලතුංග කටයුතු කරනු ලැබිණි.
මෙම පෙලපාලියේ කණ්ඩභාර සැරයන් මේජර් ලෙස බළලත් නිලධාරි I ආර්.එච්.කේ.එච් අමරසූරිය කටයුතු කළ අතර පෙළපාලියේ සරඹ උපදේශක ලෙස බළලත් නිලධාරී II එස්.පී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර කටයුතු කළේය.
මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 7 වන කණ්ඩායමේ අණදෙන නිලධාරි විසින් භටපිරිස් අමතමින් ඔවුන්ගේ කාර්යභාරය, යටිතල පහසුකම් සංවර්ධනය සහ එක්සත් ජාතීන්ගේ නිලධාරීන් සමඟ සිදුකරන ලද කාර්යභාරයන් වෙනුවෙන් එම වෛද්‍ය කණ්ඩායම විසින් සිදුකළ කැපවීම ඇගයීමට ලක්කළේය.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි යටතේ දකුණු සුඩානයේ දෙවන මට්ටමේ රෝහලෙහි රාජකාරීවල නිරතව සිටි විශේෂඥ වෛද්‍ය කර්නල් ආර්.කේ.පී පුෂ්පකුමාර, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කර්නල් යු.ඒ.එල්.ඩී. පෙරේරා, විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් තිලක් විජේරත්න සහ ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් නවරත්නම් ජයන්තන් එම රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යාරක්‍ෂිත බව පවත්වාගැනීම වෙනුවෙන් දැක්වූ දායකත්වය ද මෙහිදී පැසසුමට ලක් කළේය.
මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් රුක් රෝපණ වැඩසටහනක් සහ සියලුනිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.