Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2021 21:10:45 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් රණවිරු දු පුතුන්ට ශිෂ්‍යත්ව

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සිසු දරු දැරියන්ගේ සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මැතිණියගේ මුලිකත්වයෙන් බ්‍රහස්පතින්දා (23) දින තවත් සුභසාධන ව්‍යාපෘතියක් යුද්ධ හමුදා මූලස්ථානයේදී දියත් කෙරිණි.

රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ පවුල්වල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගවලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් දරු දැරියන්ට රුපියල් ලක්‍ෂ 30කට අධික වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව එහිදී ප්‍රදානය කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මැතිණියගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූවේය. තවද, එම අවස්ථාව සදහා යුද්ධ හමුදා ජ්‍යේෂඨ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රතිලාභි පවුල්වල දියණියක සහ පුතණුවෙකු විසින් බුලත් අතක් දී ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු සම්භාවනීය අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා සංස්කෘතික නර්තන මධ්‍යයේ එතුමන් ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදී.

මෙම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය (2020), අ.පො.ස සාමාන්‍ය පෙළ (2019) සහ අ.පො.ස උසස් පෙළ (2019) විභාගවලින් විශිෂ්ඨ ජයග්‍රහණ ලැබු රෙජිමේන්තු මට්ටමින් තෝරාගත් දරුදැරියන් 115 දෙනෙකු වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි. ඒ අනුව, අ.පො.ස සාමාන්‍ය පෙළ (2019) විභාගයේ විෂයන් 9 සඳහාම ‘ඒ’ සාමාර්ථ ලබාගත් සිසු සිසුවියන් 59 දෙනෙකුට රුපියල් 25,000/= ක බැංකු තැන්පතුවක් සහ ශබ්දකෝෂයක් බැගින් ප්‍රදානය කරන ලදී.

තවද, අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ඉහළම (Z) අගය ලබාගත් සිසු සිසුවියන් 32 දෙනෙකුට රුපියල් 30,000/= ක බැංකු තැන්පතුවක් සහ ශබ්දකෝෂයක් බැගින් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මෙහිදි පිරිනැමිණි.

මීට අමතරව, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192 ට වඩා ලබාගත් සිසු සිසුවියන් 24 දෙනෙකුට රුපියල් 20,000/= බැගින් වූ බැංකු තැන්පතුවක් සහ පාසල් උපකරණ මෙහිදි ප්‍රදානය කෙරිණි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ යුද්ධ හමුදාධිපති අරමුදලේ විශේෂ ප්‍රතිපාදන මත මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සාර්ථකව දියත් කිරීමට හැකි වූ අතර එහිදි රුපියල් මිලියන 3 කට වැඩි මුදලක් ප්‍රතිලාභි පවුල්වල සිසු දරු දැරියන් වෙත ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සුජීව නෙල්සන් මැතිණිය සහ තවත් සම්භාවනීය ආරාධිතයින් කිහිපදෙනෙකුගේ සුරතින් ප්‍රතිලාභි සිසු දරුදැරියන්ට ත්‍යාග සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කළහ.

මෙම උත්සවයේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැමිණ සිටි පිරිස අමන්ත්‍රණය කරමින් පවතින කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ, මෙම වාර්ෂික සුභසාධන ව්‍යාපෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට ප්‍රශංසා කළේය. තවද, අනාගත වගකීම් භාරගැනීමට සහ තම අනාගතය නිවැරදි මාවතකට යොමුකරගැනීම සඳහා අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය බව පසක්කර දෙමින් මෙම ශිෂ්‍යත්වයන් තම අනාගත අභිවෘද්ධිය සඳහා නිවැරදිව උපයෝගී කරගන්නා ලෙස ප්‍රතිලාභීන් දිරිගැන්විය.

මෙම අවස්ථවාවට යුද්ධ හමුදා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවල සභාපතිනියන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, සිවිල් සේවකයින්, ප්‍රතිලාභි සිසු දරුදැරියන්ගේ දෙමාපියන් හා එම පවුල්වල සාමාජිකයින් සහ සම්භාවනීය ආරාධිතයින් රැසක් සහභාගී වූහ. ඉන් අනතුරුව, විශාඛා විද්‍යාලයේ දියණියක් විසින් ස්තූති කතාව සිදුකළ අතර, ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් විය.