Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2021 22:23:30 Hours

යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය අති උත්කර්ෂවත් අන්දමින් නෙළුම් පොකුණ රඟහලේදී

ප්‍රීතිමත් නත්තලේ උදාව සනිටුහන් කරමින් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලැබු ‘යුද්ධ හමුදා නත්තල් කැරොල් ගී ප්‍රසංගය’ බදාදා (22) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි. යුද්ධ හමුදා ගායන කණ්ඩායමේ සහ තූර්ය වාදක කණ්ඩායමේ විචිත්‍රවත් සංගීතාස්වාදයෙන් වර්ණවත් වු මෙම ප්‍රසංගයට කිතුනු පූජකවරුන්, සම්භාවනීය අමුත්තන් සහ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි වූහ.

මෙම අවස්ථාවට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) හා එතුමන්ගේ භාර්යාව චිත්‍රානි ගුණරත්න මැතිණිය, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් කේ. ජගත් අල්විස් (විශ්‍රාමික) හා එතුමන්ගේ භාර්යාව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හා එතුමන්ගේ භාර්යාව, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හා එතුමන්ගේ භාර්යාව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු තවත් ආරාධිතයින් පිරිසක් සහභාගී වූහ.

එම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු සම්භාවනීය අමුත්තන් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් විය. සමාරම්භක යාඥාව සිදුකිරීමට ප්‍රථම යුද්ධ හමුදා දේවගැතියන් ඉදිරියේදී ගරු ජූඩ් ශාර්මන් පියතුමා විසින් දෙවියන් වහන්සේ වෙනුවෙන් ස්තූතිය පුදකරන ලදී. ඉන් අනතුරුව, මෙම උත්සවයේ ප්‍රධාන දේවමෙහෙය පවත්වනු ලැබූ ගරු අයිවන් පෙරේරා පියතුමන් විසින් නත්තල් පණිවිඩය ඉදිරිපත් කළේය.

‘සාමයේ කුමරා’ වන ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරමින්, පැවැත්වූ මෙම උත්සවය කැරොල්, යාඥා, නැටුම්, ගීතිකා සහ අනෙකුත් අංගයන්ගෙන් සමන්විත විය. සියලුම ආගම් හා සංස්කෘතියන්ට ආශිර්වාද එක්කරමින් පැවති මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගයට යුද්ධ හමුදා සාමාජිකයින් සහභාගි වූහ.

මෙම වසරේ යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ පුහුණු කිරීම් කටයුතු යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොහාන් බෙන්ජමින් විසින් සිදුකරන ලදී. මෙහිදී, කොරින් අල්මේදා, ධම්මික වල්පොල, මරියසෙල් ගුණතිලක, ද ලැනරෝල් සහෝදරයන්, අනිල් භාරතී, එෂාන්ත ද අන්ද්‍රාඩෝ, උමාරියා සිංහවංශ, රජීව් සෙබස්තියන්, භාතිය ජයකොඩි සහ යුද්ධ හමුදා ගායන ශිල්පීන් කිහිපදෙනෙක් සාමයේ කුමාරා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට ගෞරවය පුද කරමින් ප්‍රේක්‍ෂකයින් ඉදිරියේ නත්තල් බැති ගී ගායනා කළහ.

එහිදී, යුද්ධ හමුදා ගායන ශිල්පීන් කිහිපදෙනෙකු ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන් ද්විත්වයෙන්ම ‘සීනූ හඩින්’, ‘ලෝකයට ප්‍රීතිය’, ‘පිනි මුවන් හිම උඩින්’, ‘නමෝ මරියනි’, ‘යේසුස් වහන්සේගේ උපන්දිනය’, ‘පිනි පොද අසිරි’, ‘පුංචි බෙර වාදකයා’, ‘පුලුන් වගේ සුදු’, ‘බෙත් ලෙහෙම්පුරේ’, ‘නිහඬ රාත්‍රිය’, ‘ශුද්ධ වූ රාත්‍රිය’ යනාදි නත්තල් අසිරිය සිහිගැන්වෙන ගීතිකා ගායනා කෙරිණි.

එහිදී, එළඹෙන නත්තල ලොවට මතක් කරදෙමින් යුද්ධ හමුදාවේ වාර්ෂික විශේෂාංගයක් ලෙස පවත්වනු ලබන මෙම නත්තල් කැරොල් උත්සවයේදී ජනප්‍රිය ගායක ගායිකාවන්, පාසල් ගායක ගායිකාවන් සහ අනෙකුත් ගායක ගායිකාවන් සුහදව බැති ගී ගායනා කරමින් සෘතුමය සුභපැතුම් පණිවිඩය ලොවට හඩනඟා කියන ලදී. මෙම උත්සවය සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පවත්වන ලදී. මෙම අවස්ථාවට ආබාධිත රණවිරුවන් ද එක් වූ අතර, ඔවුන් යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ තනු වාදනය කරමින් ගායන ශිල්පීන්ගේ ගායනය සුපෝෂණය තුලින් සේවයේ නියුතු තම සගයන්ගේ සංගීත කුසලතා රස වින්දහ.

ඉන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම අවස්ථාව වෙනුවෙන් ගරු ජූඩ් ශාර්මන් පියතුමන් සහ ගරු අයිවන් පෙරේරා පියතුමන්ගේ සහභාගිත්වය ඇගයීමට ලක් කරමින් පියතුමන්ලා වෙත සිය හෘදයාංගම ස්තූතිය පුදකළේය. ඉතා අලංකාරවත් ලෙස පෙළගැසුණු මහා කැරොල් දේවමෙහෙයට එඬේරමුල්ල ශාන්ත ජෝශප් විද්‍යාලය, ‘Good Shepherd’ කන්‍යාරාමය, ‘Soul Sound’ හී සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිත ගායක ගායිකාවන් ද එක්ව සිටියහ.

මෙම අවස්ථාව වර්ණවත් කරමින් නත්තල් සීයා විසින් තෑගි බෙදාදෙමින් ළමුන් ප්‍රිති ප්‍රමෝදයට පත් කළේය. මෙම අවස්ථාවට හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, නිලධාරින් සහ ආබාධිත රණවිරුවන් සිය භාර්යාවන් සමඟ එක්ව සිටියහ.