Header

Sri Lanka Army

Defender of the Nation

22nd December 2021 09:42:27 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ගේ ප්‍රශංසනීය කාර්යභාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය කාර්යබහුලත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ධූරයේ රාජකාරි හොබවා නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ඇතුළු සිය පවුලේ සාමාජිකයින් පසුගිය අඟහරුවාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයට ආරාධනා කිරීමෙන් අනතුරුව විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ගේ සේවය ඇගයීමට ලක් කළේය.

මෙම සුහද හමුවේදී, විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර යුද්ධ හමුදාවේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු, ජනාධිපති ව්‍යාපෘති 52 ක්, විශේෂ ව්‍යාපෘති 11 ක්, කිලෝමීටර් 100,000 මාර්ග සංවර්ධන ව්‍යාපෘති, ‘වාරි සෞභාග්‍යය’ ව්‍යාපෘති 12 ක්, ‘සඳ හිරු සෑය’ සහ ‘දීඝවාපිය’ ඉදිකිරීම, කර්මාන්ත වැඩිදියුණු කිරීමේ කාර්යන්, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යභාරය, මහජන උපයෝගිතා සංවර්ධන ව්‍යාපෘති, නව ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ අවශ්‍යතා සඳහා සිදුකළ කැපවීම ඇතුළු ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයන් වෙනුවෙන් අසමසම කැපකිරීම් සිදුකළ විවිධ දක්‍ෂතාවයන්ගෙන් පරිපූර්ණ ඉංජිනේරු බලකායේ නිලධාරියෙකු ලෙස ලද තවත් ජයග්‍රහණ රැසක් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්වූවේය.

එහිදී, අදහස් දැක්වු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “ඔබගේ වසර 35කට අධික යුද්ධ හමුදා සේවාකාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් දිරිගැන්වීම මෙන්ම ඔබ සතු වූ වගකීම් ඉතාමත් කැපවීමෙන් හා පක්‍ෂපාතීව, කීර්තිමත් නිලධාරියකු ලෙස උසස් නායකත්ව ගුණාංග විදහාපාන ලදී. අරමුණු කරා ගමන් කිරීමේදී අධිෂ්ඨානයෙන් සහ අඛණ්ඩ උත්සාහයෙන් යුතුව වසංගත තත්ත්වයන් හෝ අනෙකුත් ඕනෑම අභියෝගයන් ඔබගේ ඉලක්කයට බාධාවක් නොකරගනිමින් පෙන්වූ සැබෑ නායකත්ව ගුණාංගයන් තරුණ නිලධාරින්ගේ ප්‍රශංසාවට හා ඉමහත් ගෞරවයට පාත්‍ර වන බව මාගේ විශ්වාසයයි.” යනුවෙන් ප්‍රකාශ කරන ලදී.

ඉන් අනතුරුව, වසර 35 කට අධික ආදර්ශමත් සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ගේ අනාගත අපේක්‍ෂාවන් සහ සැලසුම් පිළිබඳ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සාකච්ඡා කරන ලදී.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේදී රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම උදෙසා මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සිදුකරනු ලැබූ කැපකිරීම පසුපස එතුමන් නන් අයුරින් දිරිගැන්වීමට කටයුතු කළ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් ද මෙම හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.

මෙම සුහද හමුවේදී නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් තම කාර්යභාරයන් ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලද සහයෝගය සහ මඟපෙන්වීම් වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ අතර ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වය මත යුද්ධ හමුදාවේ ඉදිරි ගමනට ද එතුමන් සුභපැතුම් එක්කළේය.

මෙම අවස්ථාවේදී, විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇගයීමට ලක් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ගුරුවරියක වන එතුමන්ගේ භාර්යාව ශිරෝමි අමරසේකර මහත්මිය, පුත් මිනුර සහ තෙනුරි දියණිය වෙත විශේෂ තිළිණ ප්‍රදානය කළේය.