Header

Sri Lanka Army

Defender of the Nation

19th December 2021 22:00:14 Hours

වන්නි භටපිරිස් තවත් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මූලික ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පේමදූව ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය ඉරිදා (19) දින පැවති චාම් උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙන ලදී.

යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නිලන්ති ගුණතිලක මහත්මිය මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත් වූවාය. 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාව වෙතින් ඉදිකරනු ලැබූ මෙම නව නිවස නිවාසලාභින් වෙත පවරාදීමේ උත්සවය සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ ආරාධනාවකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහභාගී වූවේය.

මෙම උත්සවයේදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් සුභ මොහොතින් සමරු ඵලකය නිරාවරණය කර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පේමදූව, බණ්ඩාරගම, 13 කණුව ප්‍රදේශයේ පදිංචි එස්.එම්. ජනක සෙනරත් බණ්ඩාර මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත නව නිවසේ යතුරු භාරදුන්නේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් නිවාස අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව මෙම නව නිවස ඉදිකරන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ නව නිවස විවෘත කිරීමෙන් අනතුරුව කිරි ඉතිරවීම ඇතුළු අනෙකුත් චාරිත්‍ර වාරිත්‍රයන් සිදුකරන ලදි. මෙම උත්සවය පවතින කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.